දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක ඍණ අගයක් ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.



වීඩියෝ පණිවිඩයක් මගින් ඒ මහතා පවසන්නේ ලංකාවේ ආර්ථික තත්වයත් එසේම වනු ඇති බවයි. ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම 60%කින් පහත වැටී ඇති බවත් විදේශ රැකියා ආදායම්20%කින් පහත වැටෙනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවැනි තත්වයක් තුල ආණ්ඩුව රුපියල් බිලියන 200ක මුදල් අච්චු ගසා වෙළඳපොලට නිකුත් කර තිබෙන බවත් ආර්ථික වර්ධනය ඍන අගයක තිබියදී මුදල් අච්චු ගැසීමෙන් රටට ඇතිවන්නේ අහිතකර ප්‍රතිඵල බව ඔහු පෙන්වා දෙයි.

“මාධ්‍ය මගින් රටබීම සැල් ඉදිරියේ පෝලිම පෙන්වූවාට උකස් බඩු කඩ ඉදිරියේ පෝලිම පෙන්නුවේ නෑ. ලොතරැයි අළෙවිකරුවාගේ සිට ත්‍රීරෝද රථ රියැදුරා දක්වාත්, කම්කරුවාගෙ සිට කලාකරුවා දක්වාත් දෛනික ආදායම් උපයන අය සහ ස්වයං රැකියාවල නිරත වන අය අද අසරණ තත්වයකට පත් වෙලා. පුද්ගල අංශයේ රැකියා අර්බුදයකට ලක් වෙලා. ආසන්න වශයෙන් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමි වනු ඇතැයි කියැවෙනවා” එම මහතා පෙන්වා දෙයි.

රටේ මෙම තත්වයෙන් ගොඩ ඒමට වෙන් වී ඇත්තේ 2%ක පමණ සුළු මුදලක් බවත්, එබැවින් නිවැරදි සැලසුමක් නිර්මාණය කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසයි.