COVID 19 පිළිබඳව ලොව බලවතුන්ගේ අවධානය දැඩිව යොමුව ඇත්තේ සෑම රටකටම මෙය බරපතළ ගැටලුවක් වී ඇති හෙයිනි. මේ අතරතුර හැරී කුමරු ද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. COVID 19 වෛරස වසංගතය හේතුවෙන් එකිනෙකාට සහයෝගය දෙන ලෙසත්
නිහඬව සිටින අය පිළිබඳව සොයා බලන ලෙසත් ඔහු ඉල්ලා ඇත.

COVID-19 හේතුකොටගෙන ලොව පුරා බොහෝ රටවල් අගුළු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක කොට තිබීම ලොව පුරා මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට විශාල හානියක් වී තිබේ.  එමෙන්ම රෝගය වැළඳීම වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවයේ යෙදීමද අත්‍යවශ්‍යව පවතී. නමුත් මේ මොහොතේ මෙම සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ බිය සහ ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති කරදර පිළිබඳව විවෘතව පැවසීම දුෂ්කර වී තිබේ.

මෙම මානසික සෞඛ්‍ය ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ උත්සාහයක් ලෙස හැරී කුමරු ජනතාවගෙන් මෙසේ ඉල්ලා තිබේ.  සමාජ හුදෙකලාව (social isolation) අනුගමනය කරන අතරතුර එකිනෙකා සමඟ සම්බන්ධතා පවත්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ එය සෑම කෙනෙක්ගේම මානසික සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇතිකරන බැවිනි.

ආබාධයන්ට ලක්වූ සේවා සාමාජිකයින් වෙනුවෙන් පැරාලිම්පික් (Paralympics) උළෙලට සමාන මලල ක්‍රීඩා තරඟ මාලාවක් සඳහා හැරී කුමරු ඉරිදා දිනයේදී  සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටියද නව කොරෝනා වෛරසය හේතුවෙන් සංවිධායකයින්ට උත්සවය ලබන වසරට කල් දැමීමට සිදුවී ඇත.

නෙදර්ලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ Invictus Games නම් මෙම තරගාවලිය  කල් ගියද හැරී කුමරු තම ට්විටර් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක් තුළින් Invictus ප්‍රජාව දිරිගැන්වීමට කටයුතු කර ඇත. එමෙන්ම ඔහුගේ එම ට්විටර් පණිවිඩය තුළින් නව කොරෝනා වෛරසය මිනිසුන්ගේ ජීවිතය වෙනස් කර ඇති බව ඔහු පෙන්වා දී ඇති අතර විවිධ අවශ්‍යතා ඇති අයට සහාය දෙන ලෙසද ඉල්ලා තිබේ.

ලොව වෙසෙන සියලු දෙනාගේම ජීවිත නව කොරෝනා වෛරසය හේතුවෙන් විශාල වශයෙන් වෙනස් වී ඇති බවත්  මෙම අභියෝගාත්මක කාලය තුළ එකිනෙකාට සහාය වීම අත්‍යවශ්‍ය වන බවත් පවසන හැරී කුමරු ඉන්වික්ටස් පවුලේ සියලු දෙනාද මෙම අභියෝගාත්මක කාලයේදී ඊට හොඳින් මුහුණ දී එකිනෙකාට සහයෝගය දක්වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් කුමරු  තම පණිවිඩය ඔස්සේ සඳහන් කර තිබුණි.

35 හැවිරිදි හැරී කුමරු මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව නිතරම කතා කරන අයෙකි. මේ දිනවල ඔහු නිතරම පවසා ඇත්තේ හැඟීම් බෙදාගැනීම නැවැත්වූ අයට උදව් කරන ලෙසයි. එමෙන්ම ආරක්ෂිතව නිවෙස් තුළ රැඳී සිටින ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

හැරී මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිය පවුල සමඟ ස්වයං හුදෙකලා වී සිටී. එමෙන්ම   කොරෝනා වසංගතය හේතුවෙන් අහිතකර ලෙස බලපෑමට ලක්වූ දරුවන්ට උපකාර කිරීම සඳහා නව වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට හැරී කුමරු මූලිකත්වය ගෙන තිබේ. එමෙන්ම හැරී කුමරු එක්සත් රාජධානියේ ජීවත් නොවුනත් ඔහු සිය රාජකීය පවුල සමඟ සම්බන්ධතා පවත්වයි. මේ සියල්ල මධ්‍යයේ හැරී කුමරු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ COVID 19 වෛරස වසංගතය හේතුවෙන් එකිනෙකාට සහයෝගය දෙන ලෙසත් නිහඬව සිටින අය පිළිබඳව සොයා බලන ලෙසත්ය.
(රිෂ්මි ඉෂාරා)