2017දී ෆිලිප් කුමාරයා තම වගකීම්වලින් නිදහස් වීමෙන් පසුව වැඩිදෙනාගේ අවධානයට ලක් වූයේ නැත. Covid-19 අතරතුර එඩින්බර්ග්හි ආදිපාදවරයා නිකුත් කර තිබෙන ප්‍රකාශය පිළිබඳව බොහෝදෙනා විමතියට පත් වෙන්නේ එමනිසාය.
98 හැවිරිදි ෆිලිප් තම ධූරයෙන් විශ්‍රාම ගත් පසු මෙවැනි ප්‍රකාශයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය වේ. එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයන් දරන පරිශ්‍රමය ඔහුගේ අවධානයට ලක් වී ඇති බව ඔහු පැවසීය. එමෙන්ම මෙම අසීරු කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙමින් කටයුතු හොඳින් කෙරීගෙන යෑමට උර දෙන පුද්ගලයන්වද ඔහු පැසසුමට ලක් කළේය.
මේ වන විට ෆිලිප් කුමාරයා සිටින්නේ වින්ඩ්සර් මාලිගාවේ එළිසබෙත් රැජින සමඟය. ඔවුන් දෙදෙනාව වින්ඩ්සර් මාලිගයට රැගෙන ගියේ සැලසුම් කරන ලද දිනට සතියකට පෙරය. නිවසේ රැඳී සිටීම පිළිබඳ නීති රීති ඉවත් කරන තෙක් ඔවුන් එහි රැඳී සිටීම බලාපොරොත්තු වේ.
ෆිලිප් කුමාරයා රාජකීය පවුලේ දැනටත් බොහෝදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ සාමාජිකයෙක්ය. එඩින්බර්ග් ආදිපාදවරයා වන ඔහු තම වගකීම්වලින් සමු ගත්තේ 2017දීය. ඔහු වාර්තාගත සේවයක් සිදු කළ පුද්ගලයෙකු ලෙස සැලකේ. වගකීම්වලින් විශ්‍රාම ගත් පසු මුල්ම වරට ඔහු නිකුත් කළ ප්‍රකාශය මගින් බෙහෝදෙනා පුදුමයට පත් විය. ඔහු විසින් Covid-19 වසංගතය පිළිබඳව මෙසේ අදහස් දක්වනු ලැබුවේ ලෝක ප්‍රතිශක්තිකරණ සතියට පෙරය.
“ලෝක ප්‍රතිශක්තිකරණ සතියට ළඟා වෙමින් පවතිද්දී මම කැමතියි මෙම වසංගත තත්වය හැසිරවීම උදෙසා සිදු වෙමින් පවතින අත්‍යවශ්‍ය සහ හදිසි කාර්යයන් පිළිබඳව මතක් කරන්න. වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් විශ්වවිද්‍යාල සහ පර්යේෂණ සිදු කරන ආයතන තුළ වැඩ කරමින් Covid-19 ‍රෝගයෙන් අපව මුදාගැනීමට එක්සත්ව පර්යේෂණ පවත්වනවා දැකිය හැකියි” කියා ඔහු තම ප්‍රකාශය ආරම්භ කරන ලදි.

“යටිතල පහසුකම් අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කරන සියලුදෙනාටම නිවසේ සුරක්ෂිතව කල් ගෙවන අප සැම වෙනුවෙන් මාගේ අගය පළ කර සිටිමි. ආහාර නිෂ්පාදනය කිරීමට සහ බෙදා හැරීමට දායක වන කාර්යමණ්ඩලවල සාමාජිකයන් සහ ස්වේඡා සේවකයන්, තැපැල් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යෑමට හවුල් වන පුද්ගලයන් සහ කැළිකසල ඉවත් කිරීම වෙනුවෙන් වෙහෙසෙන පුද්ගලයන් හට මාගේ ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි” කියා ඔහු තම ප්‍රකාශය අවසන් කළේය.
ෆිලිප් කුමාරයාට සංවිධාන 750කට වැඩි ගණනක් සමඟ සබඳතා පවතියි. මෙම දිනවල අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන, පිරිසිදුකම හා ඖෂධ පිළිබඳ ලන්ඩන් පාසල සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ රාජකීය ඇකඩමිය ඉන් ආයතන දෙකක්ය.

ෆිලිප් කුමාරයා සහ එළිසබෙත් රැජින වින්ඩ්සර් මාලිගාවට පැමිණියේ මාර්තු 19වනදාය. මහලු වයස නිසා මෙම යුවළ වැඩි අවධානමක පසු වන හෙයින් නිවසේ රැඳී සිටීම පිළිබඳ නීති රීති ක්‍රියාත්මක වන තාක් කල් ඔවුන් එහි රැඳී සිටිනු ඇති බව පැවසෙයි. විලියම් කුමාරයා BBC Breakfast වෙතට අදහස් දැක්වුවේ “මගේ ආච්චියි, සීයායි ගැන මං ගොඩක් හිතනවා. ඔවුන් පසු වන වයස නිසා ඔවුන්ව මෙම වසංගතයෙන් ආරක්ෂා කරගැනීමට කළ හැකි සියලු දේ අප කරනවා. ඔවුන්ව වෙනත් පුද්ගලයන්ගෙන් වෙන් කර තබන්නයි අපි උත්සාහ කරන්නේ” කියාය.
මීට පෙර අවසන් වරට ෆිලිප්ව අවධානයට ලක් වූයේ 2019 මැයි මාසයේදීය. ඒ එළිසබෙත් රැජින සහ හැරී කුමරු සමඟ ඔහු ගැබ්‍රියෙලා වින්ඩ්සර්ගේ සහ තෝමස් කිංස්ටන්ගේ විවාහ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය. ඊට මාස කිහිපයකට පෙර, එනම් 2019 ජනවාරි මාසයේදී ෆිලිප් කුමරු මෝටර් රථ අනතුරකට මුහුණ පෑවේය. ෆිලිප් පොදු මාර්ගයක වාහනය පදවමින් සිටියදී තවත් වාහනයක ගැටුණි. ඔහුගේ Range Rover රථය විසි වූවද අනතුරෙන් ඔහුට තුවාල සිදු නොවීය. අවුරුදු 97ක් වී තිබුණද වාහන පැදවීම පිළිබඳව ඔහුට දෝෂා‍රෝපණ එල්ල විය.

2019 වර්ෂයේ අගදී ඔහුට රෝහල්ගත වීමටද සිදු විය. ඒ කුමන හේතුවක් මතද යන්න හෙළි නොකළද එය කලින් සැලසුම් කරන ලද රෝහල්ගතවීමක් බව පවසන ලදි. මෙම දිනවල ෆිලිප්, වින්ඩ්සර් මාලිගාව වටා සහ සැන්ඩ්‍රින්හැම්වල අශ්ව කරත්තයකින් ගමන් කරනවා අවධානයට ලක් වී තිබේ. විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඔහු තම විශ්‍රාම දිවිය විවේකීව ගත කරයි. තම මිතුරන්ව සතුටු කිරීම, පොත් පත් කියවීම සහ චිත්‍ර ඇඳීම වැනි ක්‍රියාකාරකම්වල ඔහු කාර්යබහුලය. රාජකීය පවුලට අයත් වූවද කැප වී සේවය කිරීම සම්බන්ධයෙන් ඔවුහූ බොහෝදෙනාගේ ආදරයට පාත්‍ර වී තිබේ.
(LittleThings ඇසුරිනි)

එස්. දහනායක