බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත
සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිත , ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන්
කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම මුහුණු
ආවරණ සංඛේතාත්මකව භාර දුන්නේය.


බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ
ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල
සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී
බැසිල් රාජපක්ෂ මහතාටත්, බ්‍රැන්ඩික්ස් සමාගමටත් සිය කෘතඥතාව පළ කර සිටියාය.

"සමස්ත ලෝකය ම වසංගත තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත
තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා. එම රාජ්‍යයන්
දෙක අතර සහයෝගීතාව නිසාම COVID-19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස්
නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා.

මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට
ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව
හරහා සැමට ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම්
(PPE) කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත්,
බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා."

බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන්   හා විවිධ
සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන 200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින්
යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී
නිමාවකින් යුතුවන අතර වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති
සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.