මුළු මහත් ලෝකයම මේ අවස්ථාව වන විට වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලයන්ද අගය කරමින් සිටින මෙවන් අවස්ථාවක හෙදියකට එවා තිබූ සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවී
තිබේ. එමෙන්ම බොහෝ සමාජ මාධ්‍ය වල මෙම පුවත සංසරණය කර තිබුණේ NHS හෙදියට අපහාස කරමින් මෙම සටහන ඇයගේ දොර අසල රඳවා තිබූ බවට සදහන් කරමිනි.


මෙම හෙදිය රෝහලේ පැය 12ක කාලයක් රාජකාරියේ යෙදී සිට රාත්‍රි වැඩමුරයෙන් පසු නැවත නිවසට පැමිණීමේදී දොර හරහා අදාළ සටහන දමා ඇත. මුලින්ම එය අසල්වාසීන්ගෙන් තමාට ලද සටහනක් යැයි සිතූ ඇය එය කියවා බැලීමෙන් පසුව එය එවන් ලිපියක් නොවන බව තේරුම් ගෙන තිබුණි.

අගුලු දමා ඇති අවස්ථාවක පිටතට යාමෙන් අගුලු දැමීමේ නීති උල්ලංඝනය කිරීම අපකීර්ති සහගත ක්‍රියාවක් බව එම සටහනේ සඳහන් වී ඇත. එසේම මෙම ලිපිය එවනලද හෙද නිලධාරිනිය NHS හෙදියක් වන අතර ඇය කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් විශාල කැපකිරීමක් මේ වන විටත් සිදු කරමින් සිටින යුවතියකි. තමන්ගේ ජීවිත අවදානමද නොතකා මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන ඇය වැනි උතුම් කාන්තාවන්ට මේ ආකාරයෙන් අපහාස කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

කෙසේ වෙතත් මෙම සටහන අතින් ලියන ලද්දක් බව පැහැදිලිය. එමෙන්ම මෙම සටහන මගින් නිවසේ රැඳී නොසිටීම සම්බන්ධයෙන් ඇයට දැඩි සේ අපහාස කොට තිබුණි. නමුත් ඇය අදහස් දක්වා තිබුනේ එම සටහන දුටු විගස අනෙක් හෙදියන්ට මෙන්ම තමන්ටද සේවය අගය කරමින් සුන්දර ලිපියක් ලැබී ඇති බව සිතූ බවයි. කෙසේ නමුත් මෙම හෙදිය පසුව පවසා තිබුනේ ඇය එම සටහන හේතුවෙන් අතිශය කණගාටුවට පත්වූ බවයි. එමෙන්ම මෙම දුෂ්කර කාල සීමාව තුළ ඇය තම රැකියාවේ නිරතව සිටින්නේ ද ඇගේ දරුවන් සහෝදරයා වෙත භාර කරමින් ය. එවන් කැපකිරීමක් සිදු කරමින් රෝගීන් බේරා ගැනීමට වෙර දරන ඇය වැන්නියකට මෙලෙස අපහාස කිරීම සම්බන්ධයෙන් ඇය දැඩි සේ කනගාටු වන බව ඇගේ සමීපතමයන් සමඟින් ඇය ප්‍රකාශ කර තිබුණි.


නමුත් මෙම සටහන එවන ලද්දේ කවුරුන් විසින්දැයි තවමත් ඇය නොදන්නා බවත් ඇයගේ මව විසින් පවසා තිබුණි. නමුත් මෙය අසල්වැසියකුගේ ක්‍රියාවක් විය හැකියැයි ඔවුන් අනුමාන කරයි. ඇය තනිකඩ බවත් සහෝදරයාගේ නිවසේ දරුවන් තබා යන බවත් අසල්වැසියන් දන්නා බව ඇයගේ මව වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තම facebook ගිණුම හරහා යි.කෙසේ වෙතත් රෝහලේ පෙරටුගාමී හෙදියක් වන තමන්ගේ දියණියට මෙසේ අපහාස සිදු කිරීම අප්‍රියජනක පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් ඇය මෙම සිදුවීම හේතුවෙන් කනස්සල්ලට සහ විශාල මානසික ආතතියකට පත් වී ඇති බවත්  හෙදියගේ මව තම ෆේස්බුක් ගිණුම හරහා වැඩිදුරටත් සදහන් කර තිබුණි.

මෙම සටහන දොර අසල තැබූ පුද්ගලයා සෘජුව මෙම කරුණු ප්‍රකාශ කළේ නම් එවන් මානසික තත්ත්වයක් ඇයට උදා නොවන්නට තිබුන බව බොහෝ දෙනාගේ අදහස විය. කෙසේ නමුත් මෙය යම්කිසි පුද්ගලයකුගේ ආත්මාර්ථකාමී හැසිරීමක් බවත් එසේම එම පුද්ගලයා තමන් ගැනම ලැජ්ජා විය යුතු බවත් මෙවන් අනුවණ මිනිසුන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඇය පවසා ඇත.

කෙසේ නමුත් මෙම හෙදියට සහයෝගය දක්වමින් ඇයගේ මානසිකත්වය ශක්තිමත් කිරීමට දිරි දුන් සියලු දෙනාටම කාරුණික ස්තුතිය පල කරන බව ඇගේ මව වැඩිදුරටත් තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණි. තමන්ගේ ජීවිත අවදානම නොතකා නව කොරෝනා රෝගීන් වෙනුවෙන් කැපකිරීම් කරන මෙවන් උතුම් කාන්තාවන් සඳහා මෙවැනි අපකීර්තිමත් අනුවණ ක්‍රියාවන් සිදු කිරීම කිසිසේත් අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ.
(රිෂ්මි ඉෂාරා)