කොරෝනා සුව වීම සඳහා ඇමරිකානු ජනපති ට්‍රම්ප් යෝජනා කළ මැලේරියාව සදහා දෙන hydroxychloroquine ඖෂධය ගැන දැන් පළවන ආරංචිය අසුබවාදී එකකි.
විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක පර්යේෂණ කණ්ඩායමක් මේ ගැන කළ පරීක්ෂණ අනුව මෙම බෙහෙත ලබාදුන්නාට වඩා නොදී සිටියානම් හොඳ බව අවසන් නිගමනයකට පැමිණ තිබේ.

මෙම පර්යේෂණ ප්‍රතිඵලය මෙම යොමුවෙහි වෙයි.
https://www.medrxiv.org/content/10.1101/2020.04.16.20065920v1.full.pdf
රටපුරා කරන ලද අධ්‍යයනයක් අනුව මෙම ඖෂධ ලබාදුන් අය  රාශියක් මිය ගොස් ඇති බව වාර්තාවී ඇති අතර කිසිදු ධනාත්මක ප්‍රතිකාරයක් ලෙස එය හදුනාගන්නට නැත.
මැලේරියා ඖෂධයෙන්  නව කොරෝනා රෝගීන් සුවකළ හැකි බවට ප්‍රචාරයක් පැවති නමුත් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එම ඖෂධයට එසේ නිශ්චිතව මෙම රෝගය කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දී තිබේ.


ඇමෙරිකානු රජය විසින් මෙම මැලේරියා ඖෂධ තම රෝගීන්ට ලබාදීමට කටයුතු කළ බව සියලු දෙනා දන්නා කරණකි. එමෙන්ම මෑතකදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම ඖෂධ ඉල්ලූ බව නොරහසකි. කෙසේ වෙතත් මේ වන විට සොයාගෙන තිබෙන්නේ එම ඖෂධ ලබා දුන් ජනතාව වැඩි වශයෙන් මරණයට පත්ව  තිබෙන බවයි. එමෙන්ම මෙම ඖෂධයෙන් කිසිදු ප්‍රතිලාභයක් ළංකර ගත නොහැකි බව ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

වෛද්‍ය පරීක්ෂණ වලට අනුව මෙම මැලේරියා ඖෂධය රෝගීන්ට ලබා දීමත් සමග ඔවුන්ගේ අවයවවලට ඇතැම් හානි සිදුවන බවට ඉඟියක් ලැබී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම හෘද ස්පන්දනය වෙනස් කිරීමටද එය වක්‍රව බලපාන බවත් මෙම ඖෂධ තුළින් අතුරු ආබාධ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම කරුණු තුළින් අනාවරණය වන්නේ මැලේරියා ඖෂධය මගින් කොවිඩ් 19 රෝගීන් සුවකළ නොහැකි බවයි. එබැවින් මේ  පිළිබඳව නිශ්චිත ඖෂධයක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කිරීමට ප්‍රථමයෙන් අනවශ්‍ය අසත්‍ය ප්‍රචාරයන් වලට නොරැවටෙන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

(රිෂ්මි ඉෂාරා)