[Trending][btop]
[News][stack]

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම මෙතරම් අපහසු ඇයි?

Covid - 19 රෝගයට හේතු වන නව කොරෝනා වෛරසය අනිකුත් රෝගවලට හේතු වන බැක්ටීරියා වැනි රෝග කාරකවලට වඩා වෙනස්ය. බැක්ටීරියාවක් සමඟ සටන් කිරීමට වඩා වෛරසයක් සමඟ සටන් කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපහසු කාර්යයකි. වෛරසයකට ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම අපහසු වන්නේ මේ නිසාය.
වෛරසයක ක්‍රියාකාරීත්වය හරිම පුදුමාකාරය.
ජීවයේ මූලික තැනුම් ඒකකය වන්නේ සෛලයයි. එනමුත් වෛරසයක එවැනි සෛල අඩංගු නොවේ. වෛරස යනු අණු අහුරකින් සෑදුණු රසායනික සංයෝගයකි.

මෙම අණු විවිධ අනුපිළිවෙලින් හැඩ ගැසී විවිධ හැඩ ඇති කරයි. නව කොරෝනා වෛරසයේදී එම අණු දීප්තිමත් රතු පැහැ බෝලයක හැඩය ගන්නා අතර එම බෝලය මත ඔටුනු වැනි යමක් දිස් වේ. කොරෝනා වෛරස කුලයට අයත් වෛරස හඳුනාගැනීමට උපකාරවත් වන්නේ ඊටම ආවේණික මෙම පෙනුමයි.

බැක්ටීරියා සහ දිලීර වැනි අනෙකුත් රෝග කාරක සමඟ සසඳන විට මෙම වෛරසය ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි. ඕනෑම ජීවියෙක් ගොදුරු කරගැනීමට මෙම වෛරසයට හැකියාවක් තිබෙයි. එපමණක් නොව වෙනත් රෝග කාරක ආසාදනය කරන්නටත් සමහර වෛරසවලට හැකියාව තිබෙයි. බැක්ටීරියා මත යැපෙන වෛරස මීට හොඳ උදාහරණයකි. එම වෛරස විසින් බැක්ටීරියාවන් ආසාදනය කර විනාශ කරනු ලබයි. ඉන්දියාව සහ බංගලාදේශය හරහා ගලා යන ගංගා නමැති ගංගාවේ ජලය බැක්ටීරියාවලින් තොරව පවත්වාගෙන යෑමට හැකි වුණේ මෙම බැක්ටීරියා මත යැපෙන වෛරස නිසාය.
වෛරස කොයි තරම් සරලද කියනවා නම් විද්‍යාඥයන් ඒවා ජීවීන් ලෙස වර්ග කරන්නේ නැත.
SARS-CoV-2 යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නව කොරෝනා වෛරසය අනිකුත් වෛරසවලට වඩා ප්‍රමාණයෙන් විශාලය. උදාහරණයකට, නැ‍නෝමීටර 30ක විශාලත්වයෙන් යුතු පෝලියෝ වෛරසයට වඩා එය හතර ගුණයකින් පමණ විශාලය. එනම්, නැනෝමීටර 120ක් පමණ විශාලත්වයකින් යුක්තය. ඒත් අපේ බඩවැල්වල දක්නට ලැබෙන හානිදායක නොවන එස්චිරිචියා කෝලි බැක්ටීරියාව නව කොරෝනා වෛරසය මෙන් 16 ගුණයක් විශාලය. අපේ ශරීරයේ තිබෙන රතු රුධිරාණුවක් නව කොරෝනා වෛරසය මෙන් 64 ගුණයක් විශාලය.
කොරෝනා වෛරසය ඇතුළු සියලුම වෛරසවල තිබෙන ප්‍රධාන අණු වර්ගයක් වන්නේ ප්‍රෝටීනයි. මේවා වෛරසයක තොරතුරු ගබඩා කරන ජාන වන අතර ඒවා ගබඩා කරගන්නේ ඉතා සීමිත තොරතුරු ප්‍රමාණයකි. ශරීරයේ තිබෙන ද්‍රාවණයක් වැනි සුදුසු පරිසරයක් ලැබුණු විට ඒවා ප්‍රතිගුණනය වීමට (replicate) පටන්ගනියි. වෛරස තම ප්‍රජනනය සිදු කරන්නේ ඒ ආකාරයටයි. ඒවා සෛලයකට ඇතුල් වී එහි ඇතුළත ආහාරයට ගැනීමට පටන්ගනියි. පසුව මිලියන ගණනක් වෛරස නිපදවී ඒවා සෛලය බිඳ පිටතට පැමිණෙයි.

ඒ ආකාරයට ක්‍රියාත්මක වන වෛරස මිනිස් ජීවිත සහ වගාවන් විනාශ කර දමයි. වාතය, ජලය, පස්, බිඳිති හරහා මෙන්ම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙක් වෙතට සම්ප්‍රේශණය වීමේ හැකියාව මෙම වෛරස් සතුය. චීනයේ වූහාන්වලින් උපත ලැබූ කොරෝනා වෛරසය දැන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම පැතිරෙමින් පවතී. එය එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට සම්ප්‍රේෂණය වන්නේ කෙළ ‍හෝ සෙම බිඳිති මගිනි. එය මිනිසුන්ව තම ප්‍රවාහන මාධ්‍යය ලෙස සලකා ඔවුන් පිට නැඟ මුළු ලොව පුරා සැරිසරන දුෂ්ටයෙකි.
නව කොරෝනා වෛරසය මිනිස් ශරීර තුළ ක්‍රියාත්මක වෙන ආකාරය දැන් අපි ටිකක් සලකා බලමු. ඕනෑම ජීවියෙකුගේ ක්‍රියාකාරීත්වයට ප්‍රෝටීන අත්‍යවශ්‍යයි. මාංශ පේශි වර්ධනය වීමට මෙන්ම ශරීරයේ අවයව අතර තොරතුරු හුවමාරු වීමටත් ප්‍රෝටීන ඉටු කරන්නේ ඉතා වැදගත් කාර්යභාරයක්. ශරීරයට අවශ්‍ය මොනවාද, මොන වේලාවටද සහ ශරීර අභ්‍යන්තරයේ තියෙන දෝෂයක් විසඳන්නේ කෙසේද ආදී දේ තීරණය කරන්නේ මෙම ප්‍රෝටීන මගිනුයි. මෙම කාර්යය සඳහා විශේෂයෙන්ම දායක වන දෙයක් වන්නේ mRNA (messenger RNA) අණුයි.  mRNA ශරීරය තුළ මුරකරුවෙක් මෙන් ක්‍රියා කරයි.

SARS-CoV-2හි පැවැත්මට දායක වන්නෙත් එම ප්‍රෝටීනයමය. සාමාන්‍යයෙන් මිනිස් සෛලයක පැවැත්මට ප්‍රෝටීන වර්ග 20,000ක් පමණ උපයෝගී ‍වන අතර වෛරස තම පැවැත්මට උපයෝගී කරගන්නේ ඊට වඩා ගොඩක් අඩු ප්‍රෝටීන ප්‍රමාණයකි. උදාහරණයකට AIDS ඇති කරන HIV වෛරසය තම පරමාර්ථය ඉටු කරගැනීමට යොදාගන්නේ ප්‍රෝටීන 15ක් පමණකි. නව කොරෝනා වෛරසය ප්‍රෝටීන 33ක් ප්‍රයෝජනයට ගනියි.
බැක්ටීරියා වැනි විශාල රෝග කාරක ප්‍රජනනය වීම වැළැක්වීම සඳහා ප්‍රතිජීවක ඖෂධ යොදාගත හැකිය. මෙම බැක්ටීරියා මිනිස් සෛලවලින් පිටතට පැමිණෙද්දීම ප්‍රතිජීවක ඖෂධවලින් නිපදවෙන ප්‍රතිදේහවලට ඒවා හඳුනාගත හැකිය. ඒ නිසා ඒවාට ප්‍රතිජීවක/ප්‍රතිදේහවලින් මැඩ පැවැත්විය හැක‍.

කො‍හොමනමුත් බැක්ටීරියා මෙන් වෛරස තමා විසින්ම ප්‍රජනනය නොවන නිසා ප්‍රතිජීවක ඖෂධවලින් වෛරස් ආසාදනවලට ප්‍රතිකාර කළ නොහැකිය. වෛරස තමා ඇතුළු වෙන සෛලයේ ක්‍රියාකාරීත්වය තමා අතට ගන්නා අතර ඉන්පසු ඒ සෛලයේ උපකාර ඇතුව වෛරසයේ පිටපත් සාදයි. එසේ වෛරසය විසින් ආක්‍රමණය කළ සෛලය තවත් සෛල මිලියන ගණනක් ආක්‍රමණය කරයි. බොහෝවිට ඒවා සැඟවී තිබේ. ශරීරයට හානියක් නොවන ආකාරයට මෙම රෝග කාරක තම අණසකට යටත් කරගෙන තිබෙන සෛලවලට ප්‍රතිකාර කිරීම අපහසුය.
Covid – 19 වැනි වෛරස් ‍රෝගවලට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක් වීමට තවත් හේතුවක් තිබේ. එය නම් වෛරස නොකඩවාම යම් වෙනස්වීම්වලට භාජනය වීමයි. ඒත් එය විකෘතියක් ලෙස හැඳින්විය නොහැකියි. එය හරියට නිතර නිතර ඇඳුම් මාරු කිරීම වැනි දෙයකි.
වෛරස හඳුනාගෙන ඒවා ක්‍රියා විරහිත කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වුවත් වෛරසවල මෙම පුදුමසහගත හැසිරීම නිසා තම වගකීම නිසි ආකාරව ඉටු කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසමත් වෙයි. එම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් වෛරසය හඳුනාගන්නා විට ශරීරයට සිදු විය හැකි සියලුම හානිය සිදු වී අවසන් වන අතර එම වෛරසය වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට සම්ප්‍රේශණය වී ද අවසන්ය.

බොහෝ අවස්ථාවලදී උණ සහ අනිකුත් ලක්ෂණ පහළ වී ශරීරය වෛරසයට විරුද්ධව සටන් කරන්න සූදානම් වන විට වෛරසය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ දමා පිට වී යෑමටත් සූදානම්ව ඇත.
උණ ඇති කරන්නේ වෛරසයෙන් නොවන බවත් එය වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරයක් බවත් වෛද්‍යවරු සඳහන් කරති. රෝගියාට උණ වැනි ලක්ෂණ ඇති වන අවධිය පැමිණ ඇතිනම් එම තැනැත්තාට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාද වැඩිය. Covid – 19 රෝගීන්ගේ වාර්තාවලින් මේ බව පැහැදිලි වේ. එක් රෝහලකට Covid-19 රෝගීන් ඇතුළත් කර පැය 48ක් අතුළත ඉන් විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබේ. නමුත් කලින්ම හඳුනාගත් රෝගීන් ඉක්මනින්ම සුවය ලබා තිබේ.

(Indiatoday පුවත්පතට Prabhash K Dutta ලියූ ලිපියක් ඇසුරිනි)

එස්. දහනායක