කැලිෆෝනියා වෙරළ තීරය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මෙම නව කොරෝනා වෛරස වසංගතය පැතිර යන අවස්ථාවක එම වෙරළ තීරයට දහස්දෙනා එක්රැස් වීම හේතුවෙනි.



මෙවන් ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින දරුණු අවස්ථාවක මෙසේ ජනතාව ඒකරාශි වීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවින් නිව්පෝර්ට් බීච් නගර සභාව ඉතා ඉක්මනින් මෙම මුහුදු තීරය වසා දැමීමට කටයුතු කරන බව පවසා තිබේ. එක්සත් ජනපදය යනු නව කොරෝනා වෛරස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රබල රටක් වුවද සති අන්තයේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් දකුණු කැලිෆෝනියා වෙරළ තීරයේ ඒකරාශි වී සිටිනු දක්නට ලැබුණි.
නමුත් පොදු ස්ථානයක මෙසේ විශාල ජනකායක් ඒකරාශිවීම අතිශයින් අනාරක්ෂිත ක්‍රියාවක් යයි ලොව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ.

මෑත දිනවල, වෙරළ සහ උද්‍යාන නැවත විවෘත කිරීම ආදිය සම්බන්ධයෙන් එරට රජය අවධානය යොමු කළ ද මෙසේ වෙරළ තීරය තුළ අනවශ්‍ය ලෙස ඒකරාශි වීම කිසිසේත් අනුමත කළ නොහැක. කෙසේ වෙතත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ දැඩි අවධානය යොමු කර තිබෙන බවත් දැනගන්නට ලැබුණි. මෙම වෙරළ තීරයේ අව්රශ්මිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාව උදා කර තිබුණද දුරස්ත භාවය ආරක්ෂා කරගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

ලොස් ඇන්ජලීස් සහ අවට කලාපයේ ප්‍රාදේශීය නිලධාරීන් ද වෙරළ නරඹන්නන්ට ජනතාවට ඉඩ දීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව විමසා බලමින් සිටින බව එරට ආරංචි මාර්ග පවසයි. නමුත් කොවිඩ් -19 හේතුවෙන් බොහෝ ජනප්‍රිය වෙරළ තීරයන් මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඔවුන් තීරණය කර ඇති අතර අතළොස්සකට පමණ සීමිත සීමාවන් සහිතව නරඹන්නන්ට අවසර දීම සඳහා පියවර ගෙන ඇති බව වාර්තා වේ. නමුත් විවිධාකාර සීමාවන්, බලාත්මක කිරීමේ සැලසුම් සහ නිර්දේශයන් අනුගමනය කරමින් මෙම අවස්ථාව භුක්ති විඳිය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

අප්‍රේල් 25 වන දින නිව්පෝර්ට් බීච් වෙරළ තීරයේදී පොලිසිය දුරස්ථ නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇත.  නමුත් සති අන්තයේ දී සෙනග වැඩි වී ඇති බැවින් නිව්පෝර්ට් බීච් නගර සභාව ඊළඟ සති අන්ත තුන සඳහා වෙරළ තීරය වසා දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති බව දැනගන්නට ලැබුණි.


නිව්පෝර්ට් බීච්හි උෂ්ණත්වය 90 එෆ් (32 සී) ට ආසන්න වන  බැවින් බොහෝ ජනතාවක් එම ස්ථානය වටා එක්රොක්වනු දැකිය හැකියි. නමුත් මෙසේ ජනතාව ඒකරාශි වීමෙන් කිසිවිටෙකත් සමාජ දුරස්ත භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වන බැවින් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව තවදුරටත් තහවුරු වේ. ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම කෙරෙහි මීට වඩා දැඩි උනන්දුවක් දක්වීම අතිශයින් වැදගත් වන බවයි. එමෙන්ම පොලීසිය ඇතුළු බොහෝ වගකිවයුතු බලධාරීන් පෙන්වා දෙන්නේද මෙම වෙරළ තීරය ඉදිරි දින කිහිපය තුළදී වසාදැමීම මෙම වෛරසය මැඩපවත්වා ගැනීමට ගතහැකි ප්‍රබල පියවරක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇති බවයි.

සඳුදා දිනය වන විට කැලිෆෝනියාවේ ධනාත්මක රෝගීන් 43,464 ක් සහ මරණ 1,755 ක් වාර්තා වී තිබේ.  මාර්තු 15 සිට රජය විසින් විරැකියා රක්ෂණ ගෙවීම් සඳහාද ඩොලර් බිලියන 4.4 ක්නිකුත් කර ඇති බව නිව්සෝම් පවසයි. කෙසේ වුවත් මෙවන් වාතාවරණයක් හමුවේ පොදු ස්ථානවලට මෙසේ ජනතාව ඒකරාශි වීම කිසිසේත් සුදුසු නොවන බව පැහැදිලිය. එබැවින් රජයන් විසින් මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කිරීම වැදගත් වනවා සේම රටවැසියන්ද තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු බව අත්‍යවශයෙන්ම පැවසිය යුතුය.

- රිෂ්මි ඉෂාරා -