ලෝකය පුරා අගුලු දැමීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමග බොහෝ දෙනෙක්ට තමන්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය තුළ රැඳී සිටීමට අවස්ථාව අහිමිවී තිබේ. මෙම මාසය තුළ දී උපන් දිනය යෙදී තිබෙන පුද්ගලයන්ටද තමන්ගේ උපන් දින සාද පැවැත්වීම නොහැකි වී තිබෙන්නේ මෙම covid 19 වෛරස වසංගතය
ඛේදනීය ලෙස ‍ව්‍යාප්ත වෙමින් පවතින බැවිනි. ඒ කෙසේ නමුත් මේ අතරතුර තමන්ගේ  ස්වාමිපුරුෂයාගේ උපන්දිනය ඉතා පුදුම සහගත ලෙස සැමරීමට තරුණියක කටයුතු කළ ආකාරයක් පිළිබඳව වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා  සංසරණය වෙමින් තිබේ.

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා ආරක්ෂා වීම සඳහා මේ දිනවල බොහෝදෙනා තම නිවෙස් තුළට වී රැඳී සිටියි. එසේම අනිකුත් පුද්ගලයන් සමඟ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට පිළිපැදිය යුතු ප්‍රබල කරුණක් වී තිබේ. මෙවන් අවස්ථාවක තම පෙම්වතාගේ උපන්දිනය සැමරීමට මෙම පෙම්වතිය විසින් අපූරු සහගත ක්‍රියාවක් සිදුකොට තිබේ. ඒ තිස් හැවිරිදි ඇගේ ආදරණීය පෙම්වතා එසේත් නැතිනම් සැමියා වෙනුවෙන් සුබ උපන්දිනයක් ගීතය ගායනා කරන ලෙස ඇය තම අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලා තිබීමයි. උපන් දින ගීතය ගායනා කළ යුතු වෙලාව සහ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ නම ඇතුළත් කරමින් අසල්වැසියන්ගේ දොරවල් අසල කුඩා සටහනක් දැමීමට ඇය කටයුතු කර තිබේ.

අවසානයේ ඇය එම පණිවිඩයේ සඳහන් කර තිබූ වෙලාවෙදි තමන්ගේ ස්වාමි පුරුෂයාට පවසන්නේ ජනේලයෙන් පිටත බලන ලෙසයි. ඔහු ජනේලය විවෘත කිරීමත් සමඟ අවට අසල්වාසීන් සියලු දෙනා සුබ උපන්දිනයක් ගීතය ගායනා කරන්නේ ඔහුව දැඩි සේ  ප්‍රීතියට මෙන්ම පුදුමයට පත්කරමිනි. මෙවැනි දුෂ්කර කාලසීමාවකදී පවා තමන් වෙනුවෙන් මෙවන් අද්විතීය පුදුමසහගත උපන්දින සුබ පැතුමක් එක් කළ තම පෙම්වතියගේ මෙම ක්‍රියාව පිළිබඳව ඔහු බොහෝ සේ සතුටටත් පුදුමයටත් පත් ව තිබේ.

කෙසේ නමුත් මෙම වීඩියෝව තුලින් අප අවධානයට ගත යුත්තේ මෙවන් දරුණු වසංගත ව්‍යවසනයකට මුහුණ දෙන අසීරු කාල සීමාවක් තුළ තමන්ගේ ජීවිතයේ සොඳුරුම අවස්ථාවන් පවා ඉතා ආරක්ෂාකාරී ලෙස ගතකිරීමට අප සියලු දෙනා වග බලා ගත යුතු බවයි. කිසියම් අයුරකින් ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාගේ උපන්දින සාදය සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් සිදු කළේ නම් එය බොහෝ දෙනාගේ මරණයට හේතුවක් වන්නට ඉඩ තිබුණි. එබැවින් නව කොරෝනා වෛරසයෙන් සියලු දෙනා ආරක්ෂා වීමට නම් මෙවන් ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කිරීම අතිශයින් වැදගත් වන බව අප තේරුම් ගත යුතුය.

- රිෂ්මි ඉෂාරා -