[Trending][btop]
[News][stack]

නොමිනේෂන් භාරගන්න ප්‍රාලේ වල ඉන්නේ මිනිසුන් නොවේද කොරෝනා බිය ඔවුන්ට නැද්දැයි මැසිවිලි

රජය මගින් ලබාදී ඇති විශේෂ නිවාඩුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල/ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ආශ‍්‍රිත සේවා නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සඳහා අද හෙට සහ අනිද්දා ලබාදී නැත.
මැතිවරණයේ නාමයෝජනා ලබාගැනීම හේතු කරගෙන මෙම නිවාඩු අහොිසිය සිදුව ඇත. නමුත් ඔවුන්ටද
කොරෝනා ආසාදන බිය පවතින බැවින් ඔවුන් සඳහා ද නිවාඩු ලබා දීමට පියවර ගන්නැයි සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් චන්දන සූරියආරච්චි නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. එම නිවේදනය පහත පරිදිය.



2020 මාර්තු 17 සිට දින 3 ක් රජයේ ආයතන හා සේවාවන් කීපයක සේවකයින් සඳහා රජයේ නිවාඩු ලබා දී ඇත. රජය එවැනි තීරණයක් ගෙන ඇත්තේ දැනට රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින #Covid-19 කොරෝනා වෛරසයේ අවධානම් තත්වය හේතු කරගෙන බව පැහැදිලිය. එමෙන් ම එම මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ය.

නමුත් එම රජයේ නිවාඩු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්යය මණ්ඩල වලට ලබා දී නැත.

ඔවුන් එම අවධානම දරාගෙන ඉහත සේවා ස්ථාන වෙත පැමිණිය යුතුය. ඔවුන් මේ රටේ අපේම මිනිසුන් නොවන්නේ ද? මාරාන්තික කොරෝනා වෛරස් අවධානම මැඩලීම සඳහා සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩල හා යුධ හමුදාව සිදු කරන කාර්යය භාරය අපි අගය කරමු. නමුත් ඔවුන්ට ද එම අවධානම නැතුවාම නොවන බව අපි දනිමු. ඔවුන් එම අවධානම දරා ගනිමින් කරන කාර්යය ගරු කළ යුතුය.

නමුත් මේ මොහොතේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමට කිසිදු අදාළත්වයක් නැති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආශ‍්‍රිත සේවා ඇතුළු කාර්යය මණ්ඩල වල රාජ්‍ය සේවකයින් ආයතන වලට කැඳවා ඔවුන් එම අවධානමට ලක් කිරීම රජයේ වගකීම් විරහිත ක‍්‍රියාවක් බව අපි දැඩිව අවධාරණය කරමු. ඉහත කාර්යාල වල හැදුනුම්පත් අංශය, ආදායම් බලපත‍්‍ර අංශය ඇතුළු මහජනතාව නිරන්තරයෙන් පැමිණෙන මහජන සේවා කවුළු වසා දැමූ විටත් මෙම කාර්යාල වල කාර්යය මණ්ඩල බිල්ලට දීමේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැත.


රජයත්, සෞඛ්‍ය අංශ බලධාරීනුත් මෙම කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ගත යුතු සෑම නිරෝධායන ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙස ජනතාව දැනුවත් කර තිබිය දී මෙලෙස කාර්යාල වලට පැමිණෙන රාජ්‍ය සේවකයින් පොදු ප‍්‍රවාහන සේවාවන්වල උදේට සහ හවසට ගමන් කිරීමෙන් එම රාජ්‍ය සේවකයිනුත් පොදු මහජනතාවත් අවධානමට ලක් වන බව තේරුම් ගැනීමට බලධාරීන්ට නොහැකි වීම බරපතල කණගාටුදායක තත්වයකි.

මාර්තු 17 සිට දින කීපයක් දක්වා ක‍්‍රියාත්මක රජයේ නිවාඩු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල කාර්යය මණ්ඩල සඳහා ද ක‍්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා මෙන් අප සංගමය ඉතා වගකීමෙන් රජයෙන් ඉල්ලා සිටිමු.

තමාගේත්, තම පවුලේ වැඩිහිටියන්ගේ හා දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අප සේවාවට අයත් නිලධාරීන් විධිමත් දැනුම් දීමකින් පසු සේවා ස්ථානයට යම් හෙයකින් නොපැමිණියහොත් ඊට එරෙහිව පියවර නොගන්නා ලෙසත් ඉල්ලා සිටින අතර යම් හෙයකින් එවැනි පියවරක් ගතහොත් ඊට එරෙහිව අප වෘත්තීය සමිතිය ඒ වෙනුවෙන් ඉදිරිපත් වන බව ද මෙයින් දන්වා සිටිමු.

ස්තූතියි.