කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් අප්‍රේල් 15 වැනි දක්වා සංචාරක වීසා ලබාදීම තාවකාලිකව අත්හිටුවන වන බව ඉන්දියාව ඊයේ (12) නිවේදනය කළේය. වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදුව
ඇති චීනය, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය ඇතුළු රටවල් හතකින් පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.  ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන තව කොරෝනා වයිරසය 'ගෝලීය වසංගතයක්' ලෙස නම් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙම පියවර ගත්තේය.

ඒ අනුව මාර්තු 13 වැනිදා සිට සියලු රටවලට බලපැවැත්වෙන පරිදි සංචාරක වීසා ලබාදීම අත්හිටුවන බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.  රාජ්‍ය තාන්ත්‍රික වීසා සහ ජාත්‍යන්තර
සංවිධානවලට ලබාදෙන වීසාවලට මෙම තාවකාලික තහනම අදාළ නොවන බව ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ චීනයෙනි.  චීනය සහ ඉන්දියාව අතර දේශසීමාවක් ද  පවතී. පෙබරවාරි 15 වැනිදාට පසු චීනය, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය සහ ජර්මනියේ සංචාරය කර ඉන්දියාවට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඉන්දීය බලධාරීහු කීහ.

දින හතරක් ඇතුළත ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 73ක් දක්වා ඉහළ යෑමෙන් අතර මහජනතාව කලබලයට පත්ව සිටිති. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද ඉන්දීය බලධාරිහු ප්‍රකාශ කළහ.