ක්ලෝරෝකුයින් නමැති ඖෂධය කොරෝනා වෛරසය පාලනය පිණිස එය වැළඳුණ රෝගීන්ට පමණක් වෛද්‍ය නිර්දේශ අනුව ලබාදීමට කටයුතු කර තිබුණත් එය කොරෝනා ආසාදනය වීම වළක්වන ඖෂධයක්
නොවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
තොරතුරු අනුව එම ඖෂධය
මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධවූ පසු ඇඳිරි නීතිය අතර ෆාමසි හිමියන් අමතා ඒවා ලබාගැනීමට ඇණවුම් ගලා එන්නට පටන්ගෙන තිබේ. නමුත් එම ඖෂධය එසේ ලබානොදන අතර එසේ ලබාගෙන පාවිච්චි කිරීම අතුරු ප්‍රතිඵල ඇතිකරවන්නක් බැවින් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වලකින ලෙස   ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා ඇත.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “ක්ලෝරෝකුයින්” සහ “හයිඩ්‍රෝ ක්ලෝරෝකුයින්” නමැති ඖෂධ නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලුම ඖෂධ ශාලා හිමිකරුවන්ට ද දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කෙසේවුව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය සභාවේ ඉල්ලීම මත “ක්ලෝරෝකුයින්” ඖෂධ පෙති ලක්ෂ  05ක් නිෂ්පාදනය කර භාරදුන් බවයි.