මහ මැතිවරණයට පෙර පිහිටුවීමට නියමිත එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයේ මහලේකම් ලෙස
රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ (05දා)
ඒකමතිකව තීන්දු කළේය.



එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු කාමර 02ට රැස්වූ
මන්ත්‍රිවරුන් මෙම තීරණය ගත් බව එහි පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් නව මහලේකම්වරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා විසින් සන්ධාන මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර
මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.

 ඒ අනුව, දේශපාලන පක්ෂ කිහිපයක් එකතු කරගෙන පිහිටුවන සන්ධානයේ නම හා ලාංඡනය ළඟදීම
ප්‍රකාශයට පත් කරන බවත්, මෙම සන්ධානය ලියාපදිංචි කිරීමද නොබෝ දිනකින් සිදුකරන බවත් නව
සන්ධාන මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන පිහිටුවන නව සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කරන
අපේක්ෂයන් තේරීම නාම යෝජනා මණ්ඩලයක් මඟින් සිදුකිරීමටද එහිදී තීරණය වී ඇත.

නව සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් සමඟ වෙන වෙනම අවබෝධතා ගිවිසුම් අස්සන්
කිරීමටද මෙහිදී තීරණය කළ බව පුවත්පත් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා
මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් පැවැසීය.

කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අහෝසි කළ බවට සඳහන් මන්ත්‍රිවරුන් හතරදෙනාට ඊළඟ
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාධාරණය ඉටුවනු ඇතැයිද ඒ අනුව ඉදිරි මහ මැතිවරණයට පක්ෂ
කිහිපයක් එක්වී සන්ධානයෙන් තරග කර ජයග්‍රහණය කිරීම සැලැස්ම වී ඇතැයිද එහිදී හෙළි කෙරිණි.

මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත්
ප්‍රේමදාස, එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක ඇතුළු
මන්ත්‍රිවරු එක්ව සිටියහ.

නව සන්ධාන මහ ලේකම් පත් කිරීමෙන් පසු සන්ධාන නායක, සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සන්ධාන මහ
ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත සුබ පැතුම් එක් කළේය.
(ශිරාන් රණසිංහ)