මෙරට ජනතාව බලා සිටිනුයේ වෝහාරික වාර්තාව නොව මහ බැංකු හොරා කාපු අය හිරේට යන කල් බව ජොස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා
මෙසේ පැවසූයේ කුරුණෑගල, මාවතගම, මැටිබොක්ක ප්‍රදේශයේ ඊයේ (13දා) පැවැති B ශ්‍රේණියේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සහභාගි වෙමින්, මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, ජෝස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා,

"හාට් එකක් නැති මිනිස්සු තමයි හාට් එක ඉස්සරහට දාගෙන ඇවිල්ලා ඉන්නේ. මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය විනාශ කරපු, රටේ ආර්ථිකය විනාශ කරපු, රටේ මහ බැංකුව හොරා කාපු මේ අය තමයි හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුළා කරන්න හදන්නේ. ඒ නිසා මම හිතන්නේ ජනතාවට ඉතාමත්ම ලේසියෙන්
තේරුම් ගන්න පුළුවන් වෙයි හදවත් තියෙන නායකයා සහ පක්ෂය කොහෙද තියෙන්නෙ කියලා.

මහින්ද මහත්තයාගේ හඬපට තියෙනවා කියලා රන්ජන් රාමනායක කිව්වා. මහින්ද මහත්තයා කතා කරා නම් බොහොම ආදරයෙන්, ගෞරවයෙන් කතා කරන කතන්දර තියෙයි. අපි අභියෝග කරනවා මහින්ද මහත්තයාගේ හඬ පට තියෙනවා නම් එළියට දාන්න කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඔය කතා කරන කුණුහරුප අපේ නායකයන්ගේ තියෙනවා කියලා මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මහ බැංකුව හොරා කාපු අයට නිසි වෙලාවට ක්‍රමානුකූලව නීතිය ක්‍රියාත්මක වෙයි. යූඇන්පී එකේ වගේ කැලෑ නීතිය ගෙනෙන්නේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය හැම කෙනෙකුටම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙයි." යැයි පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

- අලව්ව- අධිකාරි මුදියන්සේ / නිකවැරටිය - ප්‍රියානි මංගලිකා -