එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම ලබන 16 දක්වා කල් තැබීමට ඊයේ (09දා) සවස සිරිකොත එජාප මූලස්ථානයේදී රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී
තීරණයකට එළැඹී ඇත. කෙසේ වවුද ආන්දෝලනයකට ලක්වී ඇති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පිළිබඳව තීරණයක් ගැනීමද එදින දක්වා කල්තබා ඇති බවද අනාවරණය විය.
එජාප නායකත්වය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එජාප මන්ත්‍රි කණ්ඩායම ඊයේ (09දා) පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී රැස්වූ අතර ප්‍රථමයෙන්ම සාකච්ඡාවට ගැනුණු එජාප නායකත්වය පිළිබඳ ගැටලුව විසදා ගැනිමට ඊයේ (09දා) රාත්‍රි 8.00 වනතුරු රනිල් සජිත්
දෙපාර්ශ්වයටම අපොහොසත් වූ බව අනාවරණය වෙයි.
කථානායක
කරු ජයසූරිය මහතා ඉදිරි මැතිවරණයේදී එජාප නායකත්ව මණ්ඩලයේ ප්‍රධානත්වයට පත් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇති අතර එජාප නායකත්වය තමන් දරන බව එහිදී සඳහන් කර තිබේ.
එජාප නායකත්වය ඇතුළු පක්ෂයේ ප්‍රශ්න විසදා ගැනීමටත් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය
පිළිබඳව සාකච්ඡා කිරීමටත් කැඳවා තිබූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රැස්වීම ඊයේ සවස සිරිකොත එජාප
මූලස්ථානයේදී පැවැත්විණි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, උපනායක ජෝන්
අමරතුංග යන මහත්වරුන් ඇතුළු රනිල් හා සජිත් පාර්ශ්වයන්වල මන්ත්‍රිවරු 90ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ.
එහිදී අදහස් පළකළ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී එජාපයේ ඡන්ද බිඳ වැටීමට හේතු  දක්වමින් අදහස් ප්‍රකාශ කළ අතර පා.ම. එස්.එම්. මරික්කාර් මහතා ඊට විරෝධය
දක්වමින් අදහස් පළ කළේය.

පා.ම. අජිත් පෙරේරා මහතා එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළේ එජාප නායකත්වය කරු
ජයසූරිය මහතාට පවරනවාද එසේ නොමැතිනම් එය ඔබතුමා යටතේ තබා ගන්නවාද යන්නයි.
රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරක් දීමෙන් වැළකී සිටියේය.
ඊයේ පස්වරු 3.45ට පමණ ඇරඹූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ රාත්‍රි 8.00 වන විටත්
පැවැති අතර එහිදී මන්ත්‍රිවරුන් බහුතරයකගේ අවධානය යොමු කර තිබුණේ එජාප නායකත්වය පිළිබඳ
ප්‍රශ්නයයි.
මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී එජාප මන්ත්‍රිවරුන් රැසක් පස්වරු 6.00 සිට ඉන් ඉවත්ව යන
ආකාරයක් දක්නට ලැබිණි. සජිත් පිලේ ප්‍රබලයකු වූ අජිත් පී. පෙරේරා, තලතා අතුකෝරාල ඇතුළු හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුද
හර්ෂණ රාජකරුණා ඇතුළු පසු පෙළ මන්ත්‍රිවරු ගණනාවක්ද සාකච්ඡාවෙන් ඉවත්ව යන ආකාරයක් දක්නට ලැබිණි.
ඊයේ රාත්‍රි 8.00 වන තුරුත් එජාප නායකත්වය පිළිබඳ ප්‍රශ්නයට අවසන් තීරණයක් ගෙන නොතිබූ අතර
දැඩි ආන්දෝලනයට ලක්ව තිබූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ සිද්ධිය මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් නොවිණි.
උපතිස්ස  පෙරේරා,ඩබ්ලිව් .කේ ප්‍රසාද් මංජු