වෝහාරික විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිඳරව් කෙරුණු සියලුම බැදුම්කර වංචනිකයන්ට දැඩි දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නැයි පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) හිටපු සභාපති, ජවිප පාලිර්මේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට
ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි. බැදුම්කර කොල්ලකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වසර පහකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව පෙන්වා දෙන හඳුන්නෙත්ති මහතා, වෝහාරික විගණන වාර්තාව පදනම් කරගෙන අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ආණ්ඩුවට බලය ඇතැයි ද සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වෙයි. එම ලිපියේ සඳහන් දෑ පහත පරිදි වේ.

මහත් ආන්දෝලනයට තුඩුදුන් හා රටේ සිදු  වූ දැවැන්තම මූල්‍ය අපරාදය වන මහ බැංකු  බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විශේෂඥ
දැනුමැති ආයතන සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ සභාගත කර තිබේ. එම වෝහාරික විගණන වාර්තාව මගින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් හා මහ බැංකු බැලුම්කර ගනුදෙනු පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් සිදු කරන ලද පරික්ෂණවල නිගමන හා නිර්දේශ සනාථ කරනු ලැබ ඇති අතර විද්‍යාත්මක විමර්ශන මගින් නෛතික පසුබිම ද ශක්තිමත් කරනු ලැබ තිබේ. කෝප් කමිටුවේ ඉල්ලීම අනුව මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබ ඇත්තෙම ඒ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුත්තක් වෙනුවෙනි.

එබැවින් එයින් එම ප්‍රයෝජනය ගැනීම ඒ වෙනුවෙන් යොදවන ලද කාලය හා මහජන මුදල් අපතේ නොහැරිමකි. විශේෂයෙන් බැඳුමකර ගනුදෙනුවලට අදාළ වංචාවන් හා අක්‍රමිකතාවන් සිදුවීමේ ආරම්භක කාල වකවානුව දක්වාම මෙම වෝහාරික විගණන වාර්තාවෙන්  කරුණු අනාවරනය කර තිබීම මගින් ළබැඳියාවන් අතර ගැටුම දිගු කාලයක් පුරා ප්‍රධානතම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා ඇති බව සනාථ කොට ඇත.

මේ වාර්තාවට එරෙහිව
විවිධ පුද්ගලයින්ගේ කලබලවීම මගින් හා රටින් පාලායාම්වලින් පෙනී යන්නේ මේ වංචා සහගත ගනුදෙනුවලට එරෙහි නෛතික ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් කෙතරම් කලබල වී සිටින්නේද යන්නය. මෙම බැදුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මගින් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ මෙම බැඳුමකර වංචාවේ බලපෑම හුදු ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් නොවන බවයි.

මේ සුදු කරපටි අපරාධකරුවන් විසින් රටේ වැඩකරන ජනතාව ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ තමන්ගේ විශ්‍රාමය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනු මගින් බරපතළ පාඩුවක් සිදුකර ඇති බවද  හෙළිදරව් වී තිබේ. මෙම මුල්‍ය කොල්ලකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටද අවම වශයෙන් වසර 05 කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබේ. වෝහාරික විගණන වාර්තාව එළිදැක ඇති බැවින් එය පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබතුමාට හා ඔබතුමාගේ ආණ්ඩුවට බලය ලැබී ඇත. එසේම මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක නොවුවහොත් රටේ මූල්‍ය නීති සාමාන්‍ය ජනතාවටත් සුදු කරපටි අපරාධකාරයන්ටත් වෙනස් ලෙස ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් ඇති විය හැකි අතර එය රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය ගමන්ම නීතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය ද බරපතළ ලෙස පළුදු කරනු නොඅනුමානය.

රටේ මහජන මුදල් අතිවිශාල මුදලක් කොල්ලකා බැඳුමකර ජාවාරමට අදාළ අපරාධකරුවන් හෙළිදරව් කිරීම සඳහාත් එම මහජන මුදල් රටට අත්කර ගැනිම සඳහාත් වංචාව හෙළිදරව් වූ පළමු පැයේ සිටම කැපවී සිටි අපි මෙම මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන තුරු මහජනතාව සමග ඒ සඳහා වන අරගලයේ අඛණ්ඩව රැඳී සිටින බව අවධාරණය කිරිමට ද මෙය අවස්ථාවක් කර ගනිමු. එබැවින් මෙම වාර්තාවේ සඳහන් සියලුම බැඳුම්කර වංචනිකයන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට අවශ්‍ය අධිකරණමය  ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

-සුජිත් හේවාජුලිගේ-