දේශීය සංචාරකයන් නොමැතිව, විදේශීය සංචාරකයන් සදහා පමණක් අවහල් සහ හෝටල් පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි
ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.  එවැති ආයතනයක් වැරැදිකරු වුවහොත් එහි බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගන්නා බවත් එම ප්‍රදේශවලට නව බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

‘විදේශිකයන්ට පමණයි”
ප්‍රතිපත්තිය යටතේ හික්කඩුව සහ අරුගම්බේ යන ප්‍රදේශවල ඇතැම් අවන්හල් සහ හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට දේශීය සංචාරකයන් විසින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර එලෙස දේශීය සංචාරකයන්ට වෙනස්කම් කරන හෝටල් හා අවන්හල්වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කීවාය..  විදේශීය සංචාරකයන් අඩු සමයේදී සහ ඉකුත් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ඇති වූ සංචාරක පසුබෑම වැනි ඕනෑම දුෂ්කර කාලයකදී සංචාරක කර්මාන්තයට සහාය වන්නේ දේශීය සංචාරකයන් බවත් ඔහුට එවැනි වෙනස්කම් කිරීම වළක්වා ගන්නැයි සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක හෝටල් කර්මාන්තයේ නිරත ව්‍යාවසායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් ලබා දී ඇති බවත්, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී, පුරුෂ භාවය හෝ එවැනි හේතූන් මත කිසිදු පුද්ගලයකුට සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියකට යටත් වීමට අවශ්‍යතාවක් නැතැයි ද සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

-තිළිණි ද සිල්වා-