තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායම 02දා ඉන්දියාව බලා පිටත්ව ගියේය. තරගාවලියේ පළමු තරගය එළඹෙන 05 දා ගුවාටි හිදීත් ද‍ෙවැනි තරගය එළඹෙන 07 වැනිදා ඉදෝර්හිදීත්,
තෙවැනි තරගය එළඹෙන 10 වැනිදා පුනේ හිදීත් පැවැත්වේ. තරගාවලියේ තරග තුනම රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.

එළඹ‍ෙන ඔක්තෝබර් මාස 18දා ඔස්ට්‍රේලියාවේදී පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරමිභ වීමට නියමිතව තිබෙන බැවින් ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි20 කණ්ඩායම ඉදිරීයේදී මුහුණදීමට නියමිත සෑම තරගාවලියම එක සේ වැදගත් වේ. ඒ තරගාවලිය සඳහා සුදුසුම කණ්ඩායම තෝරා ගැනීමටය, කලක් ලොව අංක එකේ පන්දුවාර විස්සයි20 කණ්ඩායම
ලෙසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රධාන තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර ඒ සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුව තිබේ. ඉන් පැහැදිලිව පෙනෙන්නේ ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි20 කණ්ඩායමේ වර්තමාන තත්ත්වයයි.

තරගාවලියට පිට යාමට පෙර මාධ්‍ය අමතා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග
සදහන් කර සිටියේ පහළම සිටින කණ්ඩායමක් එකවර ඉහළට රැගෙන ඒම පහසු කටයුත්තක් නොවන බවයි. එය ක්‍රමක්‍රමයෙන් සිදුවන බවත්, ඒ සඳහා සැලකිය යුතු කාලයක් ලබාදිය යුතු බවද ඔහු සඳහන් කර සිටියේය. එය සත්‍යයකි. වැටුණු කණ්ඩායමක් එකවරම තිබු තත්වයටම රැගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. එහෙත් අප එතනට පැමිණිය යුතුය.

මාලිංග තම කණ්ඩායම යම් සැලැස්මකට අනුව සකස් කරමින් සිටින බවක් ඔහු මාධ්‍ය අමතා කළ කතාවෙන් පසක් වේ. එම සැලැස්මේ කොටසක් ලෙස කුසල් මෙන්ඩිස්ට නැවත වතාවක් අවස්ථාව ලබා දී ඇති බවද සිපයින්. අප කවුරුත් දන්නා පරිදි කුසල් මෙන්ඩිස් යනු ද පිතිකරුවකි. තරගයක් ජයග්‍රහණය කරවිය හැකි පිතිකරුව‍ෙකි. එහෙත් ඔහු දක්ෂතා අතර නොසිටීම ගැටලුවකි. කණ්ඩායමේ නායකයා මෙන්ම තේරීම් කමිටුවද ඔහු ක‍ෙරෙහි වීශ්වාසය තබා ඇති බැවින් ඔහුට අවස්ථාව හිමි වුවද සියලු ද‍ෙනාම ඔහු දෙස බලා සිටින බවත් කුසල් මතකයේ තබා ගත යුතුය. එපමණක් නොච කණ්ඩායමේ සැලැසුම සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමේ ඉදිරි  ගමන සාර්ථක කර ගැනීමට නම් කුසල්ද හැකි ඉක්මනින් ලකුණු අතරට අවතීර්ණ වී සිය සහාය කණ්ඩායමේ නායකයාට මෙන්ම තේරීමි කමිටුවටද ලබා දිය යුතුය. එසේ නොවුණහොත් කුසල් මෙන්ඩිස් පමණක් නොව නායක ලසිත් ම‍ෙන්ම තේරුම් කමිටුවද විවේචනයට ලංවීම වැළැක්විය නොහැක. එහෙයින් ඉන්දීය තරග සංචාරයේදී කුසල්  මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීම  අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබේ. එසේ නොවුණාහොත් ඔහු ගැන නියත වශයෙන්ම තීරණයක් ගැනීමට සිදුවේ. මන්ද මේ වන විටත් ඔහුට ඇති තරම් අවස්ථාව ලබාදී ඇති බැවිනි.

කලකට පසුව ඇන්ජලෝ මැතිව්ද  පන්දුවාර විස්සයි20 සංචිතයට - කැඳවා තිබේ. මැතිව්ස්ගේ අත්දැකීම් කණ්ඩායමට තීරණාත්මක සාධකයක් බැවින් ඔහු කණ්ඩායමේ සිටීම කණ්ඩායමට ශක්තියක් බව නායක ලසිත් මාධ්‍ය අමතා සඳහන් කර සිටියේ මැතිව්ස්ගේ වටිනාකම් නිසා විය යුතුය. මෙම සංචාරයේදී මැතිවුස් සාර්ථක වුවහොත් මැදපෙළ ශක්තිමත් කිරිමේ ගැටලුවට නායක මාලිංගට යම් අස්වැසිල්ලක් ලැබෙනු නිසැකය.
එහෙයින් මැතිව්ස්ගේ සාර්ථකත්වයද කුසල් මෙන්ඩිස්ගේ සාර්ථකත්වය මෙන්ම එක සේ කණ්ඩායමට වැදගත් වේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් මුහුණදුන් පාකිස්තාන තරග සංචාරයේදී 3-0ක් ලෙසින් තරගාවලිය ජය ගන්නට තරුණ ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි20 කණ්ඩායමට හැකිවීම මෙරට ක්‍රීඩා ලෝලීන්ගේද උනන්දුව වැඩි කරවන්නට හේතුවක් විණි. එහිදී ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග දක්ෂතා අතරින් ඉදිරියෙන්ම සිටීයේය. මෙම තරගාවලියේදී ද ඔවුන්ගේ හැකියා ඉදිරිපත් කරන්නට හැකිවුවහොත් ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ හැකිය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තීරණාත්මක ක්‍රීඩකයා වන්නේ යොවුන් ක්‍රීඩක භානුක රාජපක්ෂයි. ඔහු සාර්ථක වුවහොත් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ හැකිය,  ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක රෝහිත් ශර්මා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියක් විවේක ගන්වා ඇත. එහෙත් පසුගියදා අවසන් වූ බ, ඉ, කොදෙව් කණ්ඩායණිමේ ඉන්දීය තරග සංචාරයේදී විවේක ගැන්වූ බුෂිරා නැවත ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබේ. රෝහිත් ඉන්දීය කණ්ඩායම තුළ නොමැති වීම මානසිකව සහනයක් වුවද වීරාජ් කෝලී, ශිකර් ධවාන්, කේ. එල්. රාහුල් මෙන්ම යොවුන් ක්‍රීඩකයින් වන සංජු
සැම්සන්, ඊෂාබ් පන්ටිද පිත්තෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගයක්  එල්ල කළ හැකි පිතිකරුවන්ය.  එමෙන්ම ජස්ප්‍රිට් බුෂාරා, කුර්දිස් යාදව්, වොෂින්ට සුන්දර් සහ රවින්ද්‍ර ජඩේජාද ඕනම ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගත හැකි පන්දු යැවීමේ සංයුතියක් බවද අප අමතක නොකළ යුතුය.
   -දිනේෂ් මන්ත්‍රිවිතාන-