කහව වෙරළ තීරයට එන විදෙස් සංචාරකයන් හා පෙම්වතුන්ගේ මුදල් හා දේපළ කොල්ලකන සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කළ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය කියයි. අකුරල ස්වාභාවික මුහුදු නාන ස්ථානය හා කහව හන්දිය දක්වා මුහුදු වෙරළ  තිරය තුළ පසුගිය කාලයේ සිට
මෙම කොල්ලකැම් සිදුවී ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.

අතිශය රමණිය දැකුම්කළු මුහුදු තීරයක් වූ මෙම සුන්දර වෙරළ තීරයේ අසිරිය විඳීමට මෙන්ම හිරු රශ්මිය ලබමින් මුහුදේ නෑමට විදෙස් සංචාරකයෝ ඉමහත් කැමැත්තක් දක්වති. මෙම වෙරළ තීරයේ ඇතැම් ස්ථානවල දහවල් මෙන්ම රාත්‍රී කාලයේද විවිධ අපචාර ක්‍රියා සිදුවන බවට තොරතුරු වාර්තා වේ. විදේශීය කාන්තාවන් වෙරළේ සිටින අවස්ථාවල ලිංගික හිරිහැර අඩන්තේට්ටම්වලට මුහුණදීමට සිදුව ඇතැයිද පොලීසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත.

විදෙස් සංචාරකයන්ගේ මුදල් ඇතුළු ගමන් බැග්වල
තිබූ දේපළ පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් පසුගිය සතියේ වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.  ඉකුත් දිනක කහව වෙරළේ සිය බිරිය සමග සිටි විදේශිකයකුට අයත් බෑගයක් කොල්ලකා  පලා යමින් සිටි තරුණයකු පසුපස විදේශිකයා ද ලුහුබැඳ බොහෝ දුරක් දිවගිය අතර  ප්‍රදේශවාසී පිරිස විදේශිකයාට සහාය වූ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

ඊට දින කිහිපයකට පසු කොළඹ සංචාරක  හෝටලයක නතර වී සිටි ඔස්ට්‍රේලියා ජාතික මවක් හා දියණියන් දෙදෙනකු කහව වෙරළ  තිරය අසල ගාලු පාරේ සිය මෝටර් රථය නවතා වෙරළ අයිනේ සිටියදී ඔවුන්ට අයත්  ගමන් මලු කොල්ලකා යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පලා ගියේද විදේශික කාන්තාවන් කෑකෝ ගසමින් උදව් ඉල්ලා කොල්ලකරුවන් පසුපස දිව යද්දි බව ප්‍රදේශවාසීහු පොලීසියට පැවසූහ.

පෙම්සුව විඳින දේශිය පෙම්වතුන් බියගන්වා
මුදල්, රන් ආභරණ කොල්ලකෑම් මෙන්ම ලිංගික හිරිහැර සිදුවූ අවස්ථා රැසක් ගැනද බොහෝ දෙනා කියති. ලැජ්ජාව නිසා බොහෝදෙනා පොලිසියට පැමිණිලි නොකරන බවද කියයි. ඔවුන් පැමිණි යතුරුපැදි හා වාහනවල  කොටස් ද ගලවා හොරකම් කරන බවට ද වාර්තා වූයේ වරක් දෙවරක් නොවේ. රටට මෙන්ම ප්‍රදේශයට අපකිර්තියක් ගෙනෙන මෙම කොල්ලකල්ලියේ බොහෝ දෙනා පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන අය බවට ද ප්‍රදේශවාසීහු කියති.

මත්ද්‍රව්‍යලෝලීන් මෙන්ම මත්පැන් පානය කරමින් සිටි බොහෝ පිරිස් මෙම ක්‍රියා කරන බවට ද චෝදනා කරති. මෙම කොල්ලකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ද ප්‍රදේශවාසීන් පොලිසියෙන් ඉල්ලා සිටිති.මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික ගමගේ මහතාගෙන් ඉකුත්ද (26) කළ විමසුමකදී කියා සිටියේ කහව ප්‍රදේශයේ සිදුවන මෙම කොල්ලකෑමේ සිද්ධි කිහිපයක් ගැන පොලිසියට පැමිණිලි හා තොරතුරු ලැබි  ඇති බවත් එම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගත්නා බවද කීය. මේ සඳහා පොලිස් ජංගම යතුරුපැදි හා සිවිල් ඇදුමින් සැරසුණු බුද්ධි නිලධාරින් ද යොදවා ඇති බව  පැවසීය.

-හේමන්ත ද සිල්වා-