ජනාධිපතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
වර්ධනය වන මැදපෙරදිග යුදමය තත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින්
රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලීමයි

ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව දියත් කරනු ලැබ ඇති යුදමය තත්වය වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව විශාල ගැටලුවකට මුහුණ දී ඇතැයි අපි සිතමු. මන්ද දැනටමත් ශ්‍රී ලංකාව
ඇක්සා (ACSA) හා සෝෆා (SOFA) නමින් වන ආරක්ෂක ගිවිසුම් දෙකක් ඇමරිකානු එක්සත් ජනපදය සමග අත්සන් කරනු ලැබ ඇති බැවිනි. මෙම ඇක්සා ගිවිසුම මගින් ඇමරිකානු එක්සත් ජනපදය විසින් සිදු කරනු ලබන යුද කටයුතුවලදී ඇමරිකානු හමුදාවන්ට අවශ්‍ය කරන සේවාවන් ලබාදීමට, එනම් ශ්‍රී ලංකාවේ වරායන් ගුවන්තොටුපළවල්, ඉන්ධන, සන්නිවේදන පහසුකම් ලබාදීමට බැඳී සිටියි.

විශේෂයෙන් සෝෆා ගිවිසුම මගින් ඇමරිකානු හමුදාවන්ට පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමටත් ආපසු යාමටත් ඔවුන්ගේ යුද ගුවන්යානා හා අනෙකුත් උපකරණ ශ්‍රී ලංකාවට
රැගෙන ඒමටත් එසේම ලංකාවේ පාලනයට යටත් නොවන ඔවුන්ටම ආවේණික සන්නිවේදන පද්ධතියක් පවත්වා ගැනීමටත් ආදී වශයෙන් යුද්ධයකට අවශ්‍ය කරන සියලු කටයුතු සිදු කිරීමට ඉඩ ලැබේ.

වර්තමානයේ එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඉරානයේ විශේෂ හමුදා ප්‍රධානියෙකු ඝාතනය කිරීම මගින් වන අතර ඒ සඳහා ඇමරිකාව විසින් යොදා ගනු ලැබුවේ, 2014 වර්ෂයේදී ඉරාක රජය සමග එක්සත් ජනපදය විසින් අත්සන් තබන ලද සෝෆා ගිවිසුම මගින් ලබා දී ඇති බලතලයි. එනම් එක්සත් ජනපද හමුදා ඉරාකය තුළ රැඳී සිටින අතරම එම රැඳී සිටීමට අදාළ කඳවුරු සහ එම රැඳී සිටින කාලය තුළ භූමිය, සන්නිවේදන පහසුකම් ආදී ඉරාකයේ සම්පත් භාවිත කිරීමට ලබා දී ඇති අවසරයයි.

මෙවැනි තත්වයක් තුළ සෝෆා ගිවිසුම අත්සන් කරන ලද සෑම රටක්ම මෙම අභියෝගයට මුහුණ දී ඇති අතර එක්සත් ජනපදය විසින් බලහත්කාරී ලෙස හා රටවල්වල ස්වෛරීත්වය නොසලකා සිදු කරන කටයුතුවලින් මේ බව ඉතා හොඳින් පැහැදිලි වේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පසු ඉරාක පාර්ලිමේන්තුව ඇමරිකානු හමුදා රටින් නොරපීමට තීන්දුවක් ගනු ලැබූවද එක්සත් ජනපදය එම තීන්දුව පිළිගැනීමට සූදානම් නැත. ඒ වෙනුවට ඔවුන් ඉරාකයට එරෙහිව සම්බාධක පනවන බවට තර්ජනය කර තිබෙන බැවින් මෙම සෝෆා ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු ඒවායින් ඉවත්වීම පහසු නොවන බව ඉතා පැහැදිලි කරුණක් බවට පත්ව තිබේ.

මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින මෙම යුදමය තත්වය
තුළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවද මෙම යුද්ධයේ පාර්ශ්වකරුවෙකු කරගනීමට පැහැදිලි ඉඩක් ඇති බැවින් එවැනි තත්වයක් ඇතිවීමට පෙරාතුවම එය වැළැක්විය යුතුව ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට සැබෑ ලෙසම තර්ජනයක්ව පවතින 1995දී අත්සන් කරන ලද සෝෆා ගිවිසුමත්, ඔබතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී 2007දී අත්සන් කළ සහ 2017දී එ.ජා.ප. ආණ්ඩුව විසින් දීර්ඝ කළ ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන ලෙසත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලෙසත් අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එවැනි යෝජනාවකදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඒ වෙනුවෙන් ඡන්දය පළ කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් කළ හැකි සියලු මැදිහත්වීම් සිදුකිරීමට සූදානම් බවත් මෙයින් වැඩිදුරටත් දන්වා සිටිමු.

ස්තූතියි,
බිමල් රත්නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
2020.01.09