සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එක් අයකුට ඩිරාම් 500,000 (රුපියල් කෝටි 2.5) බැගින් වු දඩ නියම කිරීමට ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ, ඩුබායිහි තරු පහේ හෝටලයක ආරක්ෂක භටයන් ලෙස සේවය කළ අවුරුදු 28 - 34 අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට මෙලෙස දඩගෙවන ලෙස නියෝග කර තිබේ.

ෆේස්බුක් හා
ඉන්ස්ටග්‍රෑමි සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් පළමුව ඩුබායි අධිකරණය නියෝග කළේ දඩ මුදල් ගෙවා විත්තිකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර‍නා ලෙසිනි.

කෙසේ වෙතත් මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය තුළදී චෝදනාලත් පුද්ගලයන් අභියාචනා ඉදිරීපත් නොකිරීම හේතුවෙන් මුලින් ලබාදුන් තීන්දුව අවසන් තීන්දුව ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

මෙම නඩුව පසුගිය වසරේ මැයි 19 වැනිදා මුලින්ම විභාගයට ගෙන ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විවිධ දෑ පළකර තිබූ බව අල් බෂා පොලීසිය නඩු විභාගයේදී සඳහන් කළේය.

නඩු විභාගයේදී ඔවුන්ගේ දුරකථනවලින් ලබාගත් පණිවුඩ හා ඡායාරූප සාක්ෂි වශයෙන් භාවිත කර තිබේ.

මුලින්ම නඩු විභාගය තුළදී මෙම ලාංකිකයන් පිරිස සදහන් කර ඇත්තේ තමන් ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා ප්‍රතිෂ්ප කරන බවත්, ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහිව අදහස් පළ කළ බවත්ය.

කෙසේ වෙතත් ඩුබායි මාධ්‍ය වාර්තා කළේ නඩු විභාගය අතරතුර ඔවුන් අදාළ චෝදනා පිළිගත් බවයි.