බන්ධනාගාර රැදවියගෙන් සියයට 64ක්ම දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා බන්ධනාගාරගත වී ඇති බවත් ඔවුන් නඩත්තු කිරීම සඳහා අදාළ දඩ මුදල් මෙන් කිහිප ගුණයක වියදමක් දැරීමට රජයට සිදුවී ඇති
බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. බන්ධනාගාරගත නොකරන ආකාරයේ සුළු වරදවල් කිරීම නිසා නියම කෙරුණු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගත කෙරුණු රැඳවියන් හේතුවෙන් බන්ධනාගාර තදබදය තවත් උග්‍ර වී ඇති බවත් ඔවුන් නඩත්තු කිරීම සඳහා රජයට වසරකට රුපියල් කෝටි 579කට  අධික වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර සංඛ්‍යා ලේඛන අනුව විවිධ වැරැදි හේතුවෙන් 2018 වසරේදී පුද්ගලයන් 24,852 දෙනකු රට පුරා බන්ධනාගාරවලට ඇතුළත් කර ඇති බවත් ඉන් රැඳවියන් 22,838
දෙනකුම බන්ධනාගාරගත කර ඇත්තේ බන්ධනාගාරගත නොකරන ආකාරයේ සුළු වරදවල් කිරීම නිසා නියම කෙරුණු දඩ මුදල් නොගෙවීම නිසා බවත් හෙළිවී ඇත. 2018 වසරේදී බන්ධනාගාරගත කෙරුණු රැඳවියගෙන් සියයට 64ක් එලෙස දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත වූවන් බව ද නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

බන්ධනාගාරගත කළ එක් රැඳවියකු වෙනුවෙන් දිනකට රුපියල් 695ක වියදමක් දැරිමට සිදුවී ඇති බවත් ඒ අනුව එක් රැඳවියකුට වසරකට රුපියල් 2,53,608ක වියදමක් දැරිමට රජයට සිදුවී ඇති බවත් වාර්තා වේ. එක් රැඳවියකුගේ ආහාර වෙනුවෙන් දිනකට රුපියල්  129ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් ඒ අනුව එක් රැඳවියකුට ආහාර සඳහා වසරකට රුපියල් 47,143ක වියදමක් දැරීමට රජයට සිදුව ඇති බවත් පෙන්වා දෙන එම සංඛ්‍යා ලේඛන ඒ අනුව බන්ධනාගාරගත නොකරන ආකාරයේ
සුළු වරදචල් කිරීම නිසා නියම කෙරුණු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගත කෙරුණු රැඳවියන් සියයට 64ක ප්‍රමාණය නඩත්තු කිරීමට රජයට වසරකට රුපියල් කෝටි  579කට අධික වියදමක් දැරීමට සිදුවී ඇති බවත් පෙන්වා දෙයි.

1990 වසරෙන් පසුව ඇති වූ බන්ධනාගාර තදබදය උග්‍ර වීම රජයට මහත් හිසරදයක් වූ අතර ඊට පිළියමක් වශයෙන් 1999 වසරේදී ප්‍රජා විශෝධන ක්‍රියාවලිය රටට හඳුන්වා දෙනු  ලැබීය.  එම ක්‍රියාවලිය බන්ධනාගාර තදබදයට මෙන්ම සිරකරුවන් නිසා රජයට දැරිමට සිදුවූ අධික වියදමට ද පිළියමක් වූ බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග කෙසේ නමුත් අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරින් හා විනිසුරුවරුන් එම ක්‍රියාවලිය නිසි අන්දමින් ක්‍රියාවේ යෙදවීම ක්‍රියා නොකිරීම නිසා වසර 19ක කාලයකට පසුවත් එම අනිසි වියදම රජය ඒ ආකාරයෙන්ම දරන බවත් අවම වශයෙන් එම වියදම රුපියල් කෝටි 1,000ක් බවත් පෙන්වා දෙයි.

බන්ධනාගාරගත නොකරන ආකාරයේ සුළු වරදවල් කිරීම නිසා නියම කරන දඩ මුදල් නොගෙවන අවස්ථාවන්හිදී ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දී ඇති ප්‍රජා විශෝධන ක්‍රියාවලිය අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් හා විනිසුරුවරුන් ක්‍රියාත්මක කිරිමට කටයුතු නොකිරීම නිසා බන්ධනාගාර තදබදය උග්‍ර වී ඇතුවාක් මෙන්ම රටේ දියුණුවට යෙදවීමට ඇති මුදල් නිස්කාරණයේ වියදම් කිරීමට සිදුවී ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

-මනෝප්‍රිය ගුණසේකර-