තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පසුගිය 19 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358 ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට සාර්ථක පිළිතුරක් ලබා දෙමින් කඩුලු 09 ක් දැවී ලකුණු 515 ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්විය.

ලකුණු 157 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉලක්කය ලකුණු 14 කට සීමා කර ගනිමිනි.

එහිදී කණ්ඩායමේ අංක එකේ වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල් සිම්බාබ්වේ ඉනිමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම දවා ගැනීමට සමත් වූ අතර ඉතිරි කඩුලු 06 ට වගකීමට ලහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙනිය සහ කසුන් රාජිත සමත් වූහ.

ලකුණු 14 ක ඉලක්කය පන්දුවාර 03 කදී සපුරා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටින අතර දෙරට අතර දෙවැනි සහ අවසන් තරගය ජනවාරි 27 වැනිදා ආරම්භ වේ.

සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 200 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දශකයේ වාර්තා කළ පළමු ජයග්‍රහණය වේ. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 තරග 03 ක ඉන්දීය සංචාරයක් සඳහා සහභාගි වූ නමුත් එම තරගාවලිය අවසන් වූයේ 2-0 ක් ලෙස පරාජයට පත්වීමෙනි.