ජනාධිපතිවරණයේ සහය පළකළ යුතු ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න  පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය සාකච්ඡා කිරීමෙන් අනතුරුව සජිත්ට සහය දීමට තීරණය කර පිටව යන අවස්ථාවේ ඔවුන් පැමිණෙන මාර්ගය අසල රැඳී සිටි අතුරුදන්වූවන්ගේ
ඥාතීන් ඊයේ (3) සවස ආර්. සම්න්පදන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට  සෙරෙප්පු වලින් පහරදීමට උත්සාහ කරනු ලැබූ අයුරු දැකගත හැකිවිය.ජනාධිපතිවරණයේ සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල්  අරසුකච්චි
පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු පිරිස රැස්වීම පැවැත්වූ හෝටලයෙන් පිටවීමේදී මෙලෙස පහරදීමට උත්සාහ කරනු ලැබිණි.


අතුරුදන්වුවන්ගේ ඥාතින් දෙමළ ජාතික සන්ධානයට බැන වදිමින් පවසා සිටියේ ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම පැහැරහරිමින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීම් උත්සාහයක යම් විනය පිට නිරත වින බවයි.දෙමළ ජනතාවගේ ගැටලු අමතක කොට කටයුතු කරමින් දේශපාලන වාසි ලබා ගන්නා පුද්ගලයින් වෙනුවෙන් සෙරප්පුවේන් පහරදිය යුතු බවත්, ඔවුන් පහත් පිරිසක් බවත් අතුරුදන්වූවන්ගේ ඥාතීහු බැනවදින්නට වූහ.වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාති එකමුතුවේ සභාපතිනිය වන කාසිපිල්ල‍ෙයි වෙනිතා මහත්මිය
තමන් පැළඳ සිටි සෙරප්පුවක් රැගෙන නිලරථවලට පහරදිමට උත්සහ කිරීමේදී ඇය සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

අතුරුදන්වූවන්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කිරීමට සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සාහ කළ ද එයට පොලිසිය විසින් අවසර ලබා නොදුන් අතර එහිදී එම ස්ථානයේ ද දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හට ගැනුණි. අනතුරුව සාකච්ඡාව අවසන්කොට පැමිණෙන නායකයින් වෙත මාර්ගයේ ඉඩ ලබාදිම සඳහා, පොලිසිය දැඩි පරිශ්‍රමයක් ගත් අතර අනතුරුව  පොලිසිය අදාළ පිරිස ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් දේශපාලන නායකයෝ තම නිල රථවලින් පිටත්ව ගියහ.

-සිතුම් චතුරංග-