නැගෙනහිර පළාත් පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩාරලාගේ අප්පු ඇතුළු ආදිවාසීන් පිරිසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජනාධිපති අපේක්ෂික සජිත්
ප්‍රේමදාස මහතාට සහාය  ලබාදීම සඳහා ඊයේ (31දා) ඉදිරිපත් වූහ.  කොළඹ 02,
වොක්ෂොල් වීදියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමිණි එම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහල්කම් තිස්ස අත්තනායක මහතා විසින් සුහදව පිළිගනු ලැබිණි.  දුප්පත් මිනිසුන්ගේ දුක හඳුනන මිනිසෙකු වශය‍ෙන් සජිත් ප්‍රේමදාස මහතා හඳුනාගත් බැවින් ඔහු
දිනවීමට ආදිවාසීන් සූදානමින් සිටින බව දානිගල මහබණ්ඩාරලාගේ අප්පු  පැවසීය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වත්මන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පියා වූ තිසාහාමිගේ කුළුපග මිතුරකු වූ බවත්, ඔහුගේ පුත්‍රයා රටේ පාලනය භාරගැනීමට සුදානම් වීම සම්බන්ධව ආදිවාසීන් සතුටින් සිටින බවත් හෙතෙම සදහන් කළේය.
රණසිංහ ප්‍රේමදාස මහතා ආදීවාසින් සමග ඉතා සමීපව ආශ්‍රය කළ බවත්, එම මතකයන් ආදීවාසීන්ට අමතක වී නොමැති බවත් මහබණ්ඩාරලාගේ අප්පු කියා සිටියේය.
ආදිවාසීන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාද මෙම අවස්ථාවට එක්විය.
     - අමිත් මධුරංග-