ගල්කිස්ස හෝටලය ආසන්නයේ දුම්රිය මාර්ගයේදී පිහි පහරකට ලක්ව බරපතළ තුවාල ලැබූ කැනඩා ජාතිකයකු පෙරේදා (20) රාත්‍රී රෝහල්ගත කළ බව ගල්කිස්ස පොලිසිය කියයි.  මෙලෙස රෝහල් ගතකර
ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි. බරපතළ තුවාල ලද කැනඩා ජාතිකයා ඉකුත්  19 වැනිදා ගල්කිස්ස මහ හෝටලය ආසන්නයේ පිහිටි වෙනත් හෝටලයක නවාතැන් ගැනීමට පැමිණි අයකු බව මූලික පරික්ෂණවලදී හෙළිවූ  බව පොලිසිය කියයි.

හෝටලයෙන් පිට වී සිටි තුවාලකරු මැදියම්
රාත්‍රියේ හෝටලය වෙත දුම්රිය මාර්ගය හරහා පා ගමනින් පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි. පිහි ප්‍රහාරයට ලක්වූ කැනඩා ජාතිකයාට දුම්රිය මාර්ගයේ ඉදිරියට දිව යමින් සිටියදී ගල්කිස්ස මුහුදු වෙරළේ බීට්ටු සංචාරයේ යෙදී සිටි නිලධාරින් දැක 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා වහාම ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම කැනඩා ජාතිකයාගේ පපු ප්‍රදේශයට හා පිට ප්‍රදේශයට පිහි ප්‍රහාරය එල්ල වී ඇත. ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. ඔහුගෙන් මේ දක්වා ප්‍රකාශයක් හෝ ගෙන නැතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ හේතුවෙන් ඔහු සතුව තිබූ මුදල් හා බඩුබාහිරාදිය කොල්ලකෑමකට ලක්වුවද යන්න නිශ්චිතව කිව නොහැකි බව එම නිලධාරීයා තවදුරටත් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-