පුර්ව මැතිවරණ නිහඬ සමය තුළ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන් ඉතා බරපතළ අන්දමින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ ලිපි හා ඡායාරූප ප්‍රසිද්ධ කළ බව
පැෆරල් සංවිධානය කියයි.
එවැනි ප්‍රවර්ධන සටහන් 160ක් පෙරේදා (13) රාත්‍රී 12.00 සිට ඊයේ (14) රාත්‍රී 12.00 දක්වා නිරීක්‍ෂණය කළ බවත්, ඒ පිළිබඳව ෆේස්බුක් සමාගමේ ආසියානු කලාපීය කාර්යාලය වෙත පැමිණිලි කළ අතර ඔවුන් ඒ පැමිණිලි පිළිබඳ වහා ක්‍රියාත්මක වී බොහොමයක් සටහන් මේ වනවිට ඉවත්කර ඇති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීවේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ රූපය පවා යොදාගෙන ව්‍යාජ සටහන් සකසා මුහුණුපොතට ඇතුළත් කර තිබූ අවස්ථා නිරික්ෂණය කළ බවත් ඒවා සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරිමට කටයුතු කළ බවත්, හෙට්ටිආරච්චි මහතා පැවසීය. මැතිවරණයට අදාළ එවැනි සටහන් තවදුරටත් පළවෙමින් පවතින බවත් පැෆරල් සංවිධානයේ නිරීක්‍ෂකයින් කණ්ඩායම් දෙකක් ඒ පිළිබඳව නිරික්ෂණය කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

මුහුණු පොතේ ඇති සටහන් සියල්ල නිවැරදි යැයි සිතා ඒවාට නොරැවටෙන්නැයි ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව කී හෙට්ටිආරච්චි මහතා මැතිවරණ නීති උල්ලංඝනය කරන සටහන් මුහුණු පොතේ දුටුවහොත් තම සංවිධානයට පැමිණිලි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

-වීනිතා එම්.ගමගේ-