ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙම වසරේ ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරග මාලාව වෙනුවෙන් (සැප්තැම්බර් මස 03දා සිට 14දා දක්වා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලය 'ඒ', 'බී', 'සී' සහ 'ඩී' යනුවෙන් වර්ග කරමින් 48 දෙනෙකුට පමණක් මුදල් ගෙවීම සඳහා
පරිපාලන කමිටුවේ අනුමැතියට යොමු කර ඇතැයි 'අද වාර්තා වේ.  මෙහි විමතිය දනවන කරුණ නම් තරගාවලියට සම්බන්ධයක් නොමැති ක්‍රිකට් ආයතනයේ ලොකු ලොක්කෝ ලොකුම හැන්දෙන් මුදල්  බෙදාගෙන තිබීමයි. මෙහිදී ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කරන එක් කාන්තාවක් සහ හෝටල් කාමර වෙන් කරන එක් නිලධාරීයක් තම නම ඉදිරීයේ රු. 141,600ක මුදලක් ලියා ගනිමින් විශාලතම මුදල ඔවුන්ට වෙන් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යමණ්ඩලය ඒ, බී', 'සී' සහ ඩී’
යනුවෙන් කාණ්ඩවලට වෙන්කර ඇත්තේ ද මෙම ඉහත කී කාන්තාව සහ නිලධාරියා වන බවත් ඔවුන් සාදා දුන් ලියවිල්ල අනුව ඉදිරියේදී ගෙවීම් සිදුකරන බවත් පරිපාලන කමිටුවේ සාමාජිකයෙක් පැවසුවේ.  මේ අතර වාර්තා වන පරිදි මෙම ගෙවීම් කටයුතු සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආසියානු ක්‍රිකට් කවුන්සිලුයියෙන් ඇමරිකානු ඩොලර් 14,300ක මුදලක්
(රු. 2,564,912.32) හෙවත් රු. ලක්ෂ 25කට වැඩි මුදලක් ලබා දී තිබේ.
මෙහිදී 'ඒ කාණ්ඩය සඳහා ක්‍රිකට්  ආයතනයේ සේවකයන් 06ක් නම් කර එක් සේවකයකුට රු. 141,600ක මුදල බැගින්ද. 'බී' කාණ්ඩය සදහා සේවකයන්  11ක් නම් කර එක් සේවකයෙකුට රු. 70,800ක මුදල බැගින්ද ගෙවීමට යෝජනා කර තිබේ. මීට අමතරව 'සී'  කාණ්ඩය සඳහා සේවකයන් 20ක් නම් කර එක් සේවකයෙකුට රු. 35,400ක මුදල බැගින්ද ඩී කාණ්ඩය සදහා සේවකයන් 11ක් නමි කර එක් සේවකයෙකුට රු. 17,700ක මුදල බැගින් ගෙවීමට යෝජනා කර තිබේ.

ක්‍රිකට් ආයතනයේ සේවකයන් පවසා සිටියේ මෙම ඉහළම මුදල් වෙන් කරගෙන ඇති නිලධාරින් අදාළ තරගාවලියේදී කිසිදු ආකාරයකින් රාජකාරී කටයුත්තකට සහභාගී නොවී ඇති බවත්, අනෙකුත් සේවකයන් මෙහෙයවීම පමණක් සිදු කර ඇති බවත්ය. ඔවුන් පෙන්වා දෙන්නේ සේවකයන් මෙහෙයවීම සඳහා එවැනි විශාල මුදලක් ඔවුනට  ග‍ෙවීම තරගාවලියේ දරදිය අදිමින්
වෙහෙස මහන්සි වී වැඩ කළ අනෙකුත් කයට කරන බලවත් අසාධාරණයක් බවයි.

 එමෙන්ම මෙම තරගාවලියට කිසිදු දායකත්වයක් නොදැක්වූ
සේවකයන්ට, මෙමගින් දීමනාවක් ගෙවා ඇතැයිද අවම වශයෙන් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ටවත් එවැනි මුදලක් ගෙවා නැතැයිද චෝදනාවක් වේ.  මීට අමතරව ක්‍රිකට් ආයතනයේ මෙම තරගාවලියට දායකත්වයක් නොදැක්වූ මාධ්‍ය අංශයේ දෙදෙනෙකුට හිතවත්කම් මත දීමනා
ගෙවීමට යෝජනා කර ඇතැයිද එමගින් අසාධාරණයට ලක්වූ  සේවකයෝ පෙන්වා දෙති. මෙහි එක් සේවකයෙකු ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ ඥාති හිතවත්කමට රැකියාව ලබාදී දීමනා ග‍ෙවන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.

මේ අතර මෙම ඉහත කී තරගාවළියේදී තරගාවලි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ තැන්නැත්තාට ගෙවනු ලබන මුදල පිළිබඳව මෙහි කිසිදු සටහනක් යොදා නොමැති අතර, සේවකයින් පෙන්වා
දෙන්නේ ඔහුට අත යටින් මුදල් ගෙවීම් සිදු කරන බවයි.

අනෙක් අතට සේවකයන් ප්‍රශ්න කර සිටිනුයේ මේ ආකාරයෙන් සේවකයන් කාණ්ඩවලට වර්ග කිරීම සිදු වූයේ කුමන පදනමක් යටතේ ද යන්නයි. මෙය හුදෙක් මේ වනවිට ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශය පාලනය කරන එක් කාන්තාවකගේ සහ තවත් එක් නිලධාරියකුගේ ක්‍රියාවක් බව ඔවුහු චෝදනා කර සිටිති.
තරගාවලියේ සියලු මෙහෙයුම් කටයුතු සිදුකළ ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් භාර අංශ ප්‍රධානියාද නොසලකා හැර ඇතැයිද චෝදනාවක් වේ.
   -පැතුම් ශ්‍රී විජේරත්න-