වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික  පිරිසක්  මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත.

ඇල්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි සමිති කිහිපයකට අයත් සාමාජික සාමාජිකාවන් මෙසේ අනුරාධපුරයට ගෙන ගොස් ඇතැයි ද දෙදින වන්දනා ගමනක් බව කියමින් ඉකුත් පළමු වැනිදා බස්රථ 12 කින්  අනුරාධපුරයට  කැඳවාගෙන ගෙන ගිය බව ද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් ව ඇතැයි  මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

පළමු වැනිදා පෙරවරුවේ රුවන්වැලි සෑය වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන් බවත් පසුව දේශපාලන රැස්වීමකට සහභාගි කරවූ බවත් ඔවුන් විසින් කළ
පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් ඒ පිළිබදව සොයා බලා සිද්ධිය සත්‍ය යැයි තහවුරු කර ගත් බවත් ගජනායක මහතා කීය.

එම වන්දනා ගමනේ අනුරාධපුරයට ගිය පසු රෝගාතුර වූ 73 හැවිරිදි මවක් එහි දී රෝහල් ගත කර දින පහකට පසු යළි ඇල්පිටිය නිවසට පැමිණි බවත් ඇය ද මෙම වන්දනාගමනට සහභාගි වූ අයෙකු බවට ඇගේ දියණිය දිවුරුම් පෙත්සමක් මගින් සනාථ කර ඇති අතර අදාල රෝහල් ඇද හිස්පත් වාර්තා ගෙන්වාගෙන එය තහවුරු කර ගත් බවත් හෙතෙම සදහන් කළේය.

තම රෝගී මව අනුරාධපුර රෝහලේ සිට ඇල්පිටිය නිවසට යළි කැදවාගෙන ආවේ එම ගමන සංවිධානය කළ පිරිස් විසින් යැයි ද ඇගේ දිවුරුම් පෙත්සමෙහි සදහන් ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ  අපේක්ෂකයෙක් විසින් මෙම  වන්දනාගමන සංවිධානය කර ඇතැයි  නිරික්ෂණය කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.

තණබද්දේගම, කැටපොල, හිඹුටුගොඩ අල්පිටිය හා කුරුදුගහ හැතැප්ම යන වැඩිහිටි සමිතිවල සාමාජික සාමාජිකාවෝ මෙසේ  වන්දනාවේ ගෙන ගොස් ඇති අතර කුරුදුගහ හැතැප්ම වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවෝ
මේ පිළිබදව මැතිවරණ ප‍්‍රචණ්ඩ  ක‍්‍රියා නිරික්ෂණ මධයස්ථානයට පැමිණිලි කර ඇත.

මේ අතර වැලිපැන්න ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු විසින් කලූතර අපේක්ෂා වැඩිහිටි සමිතියේ සාමාජිකයන් 50 දෙනෙකු වන්දනාවේ ගෙන ගිය සිද්ධියක් පිළිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සදහා වැය කර ඇති ලක්ෂ එක හමාරක පමණ මුදල රජයේ මුදල් බවට සැක කරන අතර ඒ පිළිබද තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සදහන් කළේය.

මෙසේ තහවරු කරගත් සිද්ධීන් පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.

(විනීතා එම් ගමගේ)