මෙවර ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන්නේ කුමන අපේක්‍ෂකයාටද යන්න එළඹෙන සතිය තුලදී ප‍්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා
එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද කැඳවාඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ එළඹෙන සතියේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවට පෙර එම සන්ධානයේ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමටද අවස්ථාවක් ඉල්ලා තිබෙනවා. ඒ, උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඔහු දක්වන මතය පිළිබද විමසීම සඳහායි.

මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් උතුරේදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සමගද සාකච්ඡා පැවැත්වුවා.

අවසන් තීරණයක් ලබා දීමට පෙර පෙර සිය සන්ධානය ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මීට පෙර දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වූ නමුත් විවිධ මත ඉදිරිපත් කිරීම හේතුවෙන් එම සාකච්ඡා අවසන් වූයේ එකගතාවකින් තොරවයි.