ශ්‍රීලංකා නිදහස් පක්ෂය සුරැකීමේ යැයි සංවිධානයක් බිහිකර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද නොලැබෙන විදිහට සෘජුව හා වක්‍රව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තිබෙන බව කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පසුගිය 23 වැනිදා කළුතර නව නගර ශාලාවේ පැවැති ඒකාබද්ධ හමුවට සහභාගි වෙමින් සමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.  එහිදී වැඩිදුරටත් කතා කළ සමරසිංහ මහතා මෙසේද කීය.

අද අපිට එකට එකතුවෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරවීම සඳහායි. අපි පසුගිය දේවල් අමතක කර සියලු දෙනා එකට එකතුවී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට කටයුතු කළ යුතුයි. මනාප බලාගෙන වැඩ කිරීම නොවෙයි දැන් කළ යුත්තේ ජනපති අපේක්ෂක දිනවීමයි. විශේෂෙයෙන්ම කියන්න ඕනෑ මේ වනවිට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් හදාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද නොලැබෙන විදියට අද කටයුතු කරන්නේ කළුතර  දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල්
කොඩියක්වත් දාපු නැති අයයි.

පසුගිය අවුරුදු හතරහමාර තුළ නිදහස් පක්ෂයේ උත්සවයක් තියෙනකොට මැයි දින රැලියක් තියෙනකොට සංවත්සර උත්සයක් තියෙනකොට ඔය සුරැකීමේ සංවිධානයේ අයට වුවමනාවක් තිබුණාද නිල් කොඩියක් දාන්න.. පසුගිය ජනාධිපතිවරණවලදී ඒඅය කොහොමද කටයුතු කළේ කියලා අප  දන්වා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් ගිවිසුමක් හරහා පක්ෂයද පාක්ෂිකයන්ද ආරක්ෂා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන ගෙයින් ගෙට ගමෙන් ගමට ගොස් පොදුජන පෙරමුණක් සමග එක්ව කටයුතු කරන බවද සමරසිංහ මහතා පැවසීය.

සමරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ගම් මට්ටමේ සිට ජාතික මට්ටම සඳහා අවශ්‍ය සංවිධාන සැලසුම් සකසා දැනමටත් ක්‍රියාත්මක කරන අතර සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පැවති මතභේද සියල්ල අමතකකොට
මේ සඳහා කැපවිමට තීරණය කර ඇති අතර කළුතරදි පැවැත්වෙන මේ ඒකාබද්ධ රැස්වීම ප්‍රථම වරට මේ ආකාරයෙන් පැවැත්වූ පළමු රැස්වීම වන අතර එය දෙපක්ෂයේම සාමාජිකයන්ට හොඳ ආදර්ශයක් වන බවට වැඩිදුරටත් අවධාරණය කළේය.

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වයකදී ඒ සඳහා අත්දැකීම් ඇතුළු ඍජු තීරණ ගැනීමේ හැකියාවක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලබාදිය යුත්තේ ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය සැලකිල්ලට ගැනීමෙන් හා ඇති දක්ෂතාවය මත බැවින් දෙවක් නොසිතා මෙවර ජනාධිපතිවරණයෙදි සියලු ජන කොටස්වලට ආරක්ෂාව ලබාදිය හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ක්‍රියා කිරිම ජාතියේ යුතුකමක්
ලෙස සැලකිය යුතු බවට සමරසිංහ මහතා සඳහන් කළේය.

මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේත්තු මන්ත්‍රී අබේගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී පියාල් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු දෙපක්ෂයේ අශපාලන නියෝජිතයන් සහභාගි වී සිටියහ.