නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් වරකාපොළ හොරගොල්ල ප්‍රදේශයේ නිවසක නීත්‍යනුකූලව පවත්වාගෙන ගිය ප්‍රචාරක කාර්යාලයක් ඉදිරිපිට සවිකර තිබූ දැවැන්ත කටවුට් එකක් සහ පක්ෂයේ වර්ණ සහිත කොඩි තුනක් ගලවා දැමී යැයි කියන වරකාපොළ පොලිසිය සැරයන්වරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත පෙරේදා (27) මුදාහළ වරකාපොළ තුල්හිරිය ප්‍රධාන
මහේස්ත්‍රාත් යූ.බී. කුලතුංග මහතා මෙම පැමිණිල්ල ලබන 30 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

මෙසේ ඇප පිට මුදාහරිනු ලැබුවේ හේවා පණ්ඩිත රන්තලගේ විජේරත්න බණ්ඩාරගම (49345) නමැති පොලිස් සැරයන්වරයෙකි.වරකාපොළ ප්‍රදේශීය සභාවේ විපක්‍ෂ නායක මොහොමඩ් බුහාරි මොහොමඩ් ෂරිස් (එජාප) මහතාට අයත් වරකාපොළ හොරගොල්ලේ පිහිටි නිවසෙහි මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය 26 වැනිදා සවස යතුරුපැදියකින් මුර සංචාරයෙහි යෙදී සිටි සැකකාර පොලිස් සැරයන්වරයා එහි ගොස් කාර්යාලය ඉදිරීපිට සවිකර තිබූ දැවැන්ත කටවුට්
එක සහ පක්‍ෂය වර්ණ සහිත කොඩි තුනක් ගලවා දැමීමට උත්සාහ දරා ඇතැයි කියති.

ඒ අවස්ථාවේ දී එය වැළැක්වීමට ඉදිරිපත් වූ ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක බුහාරී මොහොමඩ් මහතා මෙම කාර්යාලය බලපත්‍ර සහිතව නීත්‍යනුකූලව පවත්වාගෙන යනු ලබන එකක් බව සැරයන්වරයාට පවසා ඇත. මෙහිදී දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස්වීමකින් පසුව සැරයන්වරයා එම කටවුට් එක සහ කොඩි තුන ගලවා ඉවත්කර තිබිණි. මේ පිළිබඳව බුහාරි මොහොමඩ් මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණිල්ලක් කරමින් තම නිවසේ පවත්වාගෙන කාර්යාලයට රුපියල්  20,000ක අනර්ථයක් සිදුකර ඇති බව ද සඳහන් කර තිබිණි.

මෙම පැමිණිල්ල පිළිබඳව කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත සහකාර  උපාලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ මහතා විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයා පෙරේදා (27) අත්අඩංගුවට ගෙන වරකාපොළ තුල්හිරිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී ඔහුට මෙසේ ඇප නියම කෙරිණි.

ඇප මත මුදාහැරුණ පොලිස්  සැරයන්වරයාගේ සේවය කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත මහතා විසින් අත්හිටුවනු ලැබ ඇත. පොලිස් සැරයන්වරයා විසින් ගලවා දමා ඇතැයි කියන දැවැන්ත කටවුට් එක  අතුරුදන්වී ඇති අතර කොඩි තුන පමණක් නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය  අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

-චමින්ද වැවතැන්න-