අගමැතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවටත් අගමැති පාර්ලිමේත්තුවට වගකිව යුතු බවටත් අධිකරණයෙන් දී ඇති තීන්දු තහවුරු කර ආරක්ෂා කිරිම සැමගේම වගකීම සහ යුතුකම වන්නේයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. දේශපාලන පක්ෂය රැක ගැනීම සඳහා
නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිම පිළිබඳව ජනතාව මූලික අවධානය  යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා කීය.

දින පනස් දෙකේ දේශපාලන කුමන්ත්‍රණයට වසරක් පිරුණු 26දා කොළඹට අරලියගහ මන්දිරයේ දී මෙම ප්‍රකාශය කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දේශපාලන මතය කුමක් වුවද රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා අනාගතය ආරක්ෂා කිරිමට වගකිමෙන් යුතුව කැප විය යුතු බව ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී මෙසේද පැවැසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ගරු කරන අප සැමට අද ඉතා වැදගත් දවසක්. ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉවත් කර දැමීමේ අද වැනි දිනයකයි. පාලිමේන්තුවේ බහුතර බලය තිබු ආණ්ඩුවක් කිසිදු හේතුවක් නැතිව ඉවත් කර දැම්මා. නමුත් දවස් 52 කට පසු ඒ කුමන්ත්‍රණය මැඩපවත්වා යළිත් ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවන්නට අපට හැකි වුණා. ඒ ව්‍යායාමයට දායක වූ සියලු ජන කොටස්වලට නැවතත් ස්තුතිය පළ කරන්නට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ අප පුද්ගලිකව ලැබූ ජයක් නොවෙයි.

අපේ ආණ්ඩුවේ පමණක් ලැබූ ජයක්ද නොවෙයි. කුමන්ත්‍රණය පරාජය කිරීමට එක් රොක් වූ ජනතාව පමණක් ලැබූ ජයක් නොවෙයි. එයින් මිය යන්නේ මුළුමහත් ශ්‍රී ලංකාවමයි. කිසිදු ලේ හැලීමකින් හෝ හානියකින් හෝ තොරව නිත්‍යානුකූලව ඒ කටයුත්ත කර ගැනීමට හැකි වීම අප රටේ ප්‍රජතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්.  ඒ ජය ලබාගැනීමට හැකි වුණේ 19 වැනි සංශෝධනය හරහා මා ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් කළ නිසයි. ඒ ඔස්සේ නිර්මාණය කළ නිදහස් සහ ස්වාධීන පරිසරය නිසයි. ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය  සේවා වැනි ආයතන ගණනාවක් 19 වැනි සංශෝධනය හරහා ශක්තිමත් කළ නිසයි. බලගතු කළ නිසයි.

මා අන් කළ ඒ පදනම මත අධිකරණයේ ස්වාධීනත්වයක් නීතියේ ආධිපත්‍යයක් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලත්ත්වයක් තහවුරු වුණා. ඒ නිසා අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බාහිර බලපෑමකින් තොරව තීන්දු දිමේ පසුබිම උදාවී තිබුණා.
අගමැතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවටත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවටත්  අධිකරණය පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා විවිධ තර්ජන ගර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවුණා.පාර්ලිමෙන්තුවේ ශක්තිය හා බලය යටපත් කරන්න කිසිවකුට හැකි වුණේ නැහැ.ඉතින් මේ තත්වය තවදුරටත් තහවුරු කිරිම සහ ආරක්ෂා කිරිම අප සැමගේ වගකීමයි. අප  සැමගේම යුතුකමයි. එසේ කළ යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. මෙතනදි අප කල්පනා කළ යුත්තේ දේශපාලන පක්ෂ රැක ගැනීම ගැන නොවෙයි රටේ ප්‍රජානන්ත්‍රවාදය රැක ගැනීමයි.

අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමයි. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ගැනයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැනයි.ඉතින් මා ඉල්ලා සිටින්නේ ඔබේ දේශපාලන මතය කුමක් වුවද රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ  අනාගතය ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව කැපවන ලෙසයි. අප දිනාගත් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවූරු කිරීමටත් ආරක්ෂා කිරිමට නිරන්තරයෙන්ම කැපවනලෙස යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

-අංජුල මහීක වීරරත්න-