නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වන අවසාන රැලි නොවැම්බර් 13 වැනිදා පැවැත්වීම සඳහා කළුතර නගරයේ ක්‍රීඩාංගණ දෙකක් වෙන් කරගෙන ඇතත්, ඉතා සමීපයේ ඇති
ක්‍රීඩාංගණ දෙකක
ජනරැළි පැවැත්වීමෙන් සාමය කඩවීමට ඉඩ ඇති බැවින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැලිය සඳහා අවසර ලබා නොදන බව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණී ආරියරත්න මහතා ඊයේ (29දා) පැවසීය.

මේ සඳහා කළුතර නගරයෙන් කිලෝමීටර් දෙක තුනක් දුරින් පිහිටි වෙනත් ක්‍රීඩාංගණයක් තෝරාගන්නා ලෙස එම පෙරමුණේ සංවිධායකයන්ට දැනුම් දී ඇතැයිද ඔහු කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අවසන් රැළිය සඳහා කළුතර උද්‍යාන ක්‍රීඩා පිටිය වෙන් කරගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අවසන් රැළිය සඳහා එහි සංවිධායකයන් දකුණු කළුතර දුම්රිය පොළ ආසන්නයේ පිහිටි කළුතර නගර සභා ක්‍රීඩාංගණය වෙන් කරගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සහ කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ,
මේ සම්බන්ධයෙන් අප දෙපාර්ශ්වයම කැඳවා සාකච්ඡාවක් පැවැත්වූවා. මෙහිදී අපි සඳහන් කළේ සාමය කඩවීමක් ඇති නොවන ආකාරයෙන් රැලි පැවැත්වීම සඳහා සුදුසු ස්ථාන වෙන් කරගන්නා ලෙසයි" යනුවෙනි.

එහිදී කළුතර කොටිඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආර්යරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලිය සදහා ශබීද විකාශන බලපත්‍ර මේ වනවිටත් ලබා දී ඇති බැවින් එජාප රැලිය සඳහා විකල්ප ස්ථානයක් තෝරාගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි.

කළුතර - සුනිල්. එස්. තන්ත්‍රීආරච්චි