කිසියම් අයෙකුට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම්, ඔහුගේ අදහස් හා මතවාදය ප්‍රශ්න කරන ලෙස ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය,
හෙතෙම මේ බව පවසා සිටියේ ඇතුල්කෝට්ටේ පිහිටි වියත් මඟ කාර්යාලයේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය
හමුවකට එක්වෙමිනි.  ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නව අදහස් ප්‍රශ්න කළ හැකි බව පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා 'නිකරුණේ කියවනෙකු නොවන බවද පවසා සිටියේය.  මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුරටත් සදහන් කළ ඩලස් අලහප්පෙරුම මහතා, "ගෝඨාභය
රාජපක්‍ෂ මහතා නිකරුණේ කියවන්නේ නැහැ, වාචාල කතා කියන්නේ නැහැ. ඔහු කළු සුදු විදියට වෙන් කර ගන්නවා.  ඔහුව ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් ඔහුගේ නව අදහස් ප්‍රශ්න කරන්න. අද දවසේ කරන්න පුළුවන් දේවල් තියද්දි සමහරු ඒවා කරන්නේ නැහැ. ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිල්ලර පොරොන්දු ගලාගෙන යන ආකාරය අපි දකිනවා. පාසල් දරුවන්ට කෑම වේල ද‍ෙනවා. රාජ්‍ය සේවක වැටුප් 50,000කින් වැඩි කරනවා වගේ දේවල් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. ඇයි ආණ්ඩුවත් තියාගෙන, අමාත්‍යාංශත් තියාගෙන දැන් මේ දේවල් කරන්නේ   නැත්තේ. බෞද්ධ සංස්කෘතිය රකින ආකාරය කියනවා වෙනුවට ඒ දේවල් කරන්න හැකියාව සජිත් ප්‍රේමදාසට තිබෙනවා.මුහුදු මහා විහාරය මංකොල්ල කාලා තිබුණත් ඒ ගැන කතා කරන්නේ නැහැ. දාගැබ් ලංකාව පුරා හදන එකයි දෙන උත්තරය. ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙම නැහැ. කිසියම් ක‍ෙන‍ෙක්ට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් ඔහුගේ අදහස් මතවාදය ප්‍රශ්න කරන" යනුවද පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක, පාර්ලීමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටියහ, එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දැක්වූ අදහස් පහතින් ඔව් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා,  "ශ්‍රීලංනිපය වීදියට අපි පක්‍ෂයත්, පක්‍ෂයේ අනන්‍යතාවත් රැකගන. ක්‍රියාවලියකයි සිටින්නේ.
මේ ප්‍රගතිශීලී බලවේග සමග පෙළ ගැසුණු පක්‍ෂයක් විදියට ශ්‍රීලනිපය එජාපයට ළං කරන්න බැහැ. එජාපයෙන් වෙන් වුණු පයක් විදියට ශ්‍රීලනිපය එතැනට ළං කිරීම අවශ්‍ය නැහැ.
එජාපයේ අයගේ මුදල් හා තනතුරු වරප්‍රසාද වෙනුවෙන් තල්ලු වෙන අය මේ පක්‍ෂයේ ඉන්න පුළුවන්. සංවිධායකවරු හතළිස් ගණනක් සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වුණු කතාවක් කියවනවා. මේ සියලු දෙනා අපි පක්‍ෂයෙන් ඉවත් කරපු අය. ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයක් හදලා එය එජාපයට හේත්තු කිරීම ශ්‍රීලනිපය සුරැකීමක් නෙවෙයි.  ශ්‍රීලනිපයයේ ඉඳගෙනයි ශ්‍රීලනිපය සුරකින්න ඕනනේ,  ශ්‍රීලනිපය විදියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අපි දකින්නේ දේශපාලනයෙන් ඈත්ව සිටී. වැඩපිළිවෙළක් සහිත පුද්ගලයෙක් විදියටයි. ඒ නිසාම එතුමා ළඟ සිල්ලර දේශපාලනයක් නැහැ. දැක්මක් සහිතව කතා කරන නායකයෙක් බවට. එතුමා පත්ව සිටින්නේ ඒ නිසයි. එවැනි තත්ත්වයක නායකයෙකුට දේශපාලන නායකත්වයක් දෙනවා කියන දේ සිද්ධ වෙන්නේ පළමු අවස්ථාවටයි."
ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක අතුරලියේ රතන හිමි, "අපට නිෂ්පාදනය කළ හැකි, ගොඩනැගිය හැකි හැම දෙයක්ම අපි අපේ රට තුළ නිපදවා ගැනීමට උත්සාහ කළ යුතුයි, ලෝක ජාවාරම්කාර බලවේගවලට අවශ්‍ය විදියට රට හසුරවන්න වෙනවා වෙනුවට රටේ සැබෑම භූමි පුත්‍රයන් සමග, එක්ව සියලු ජන කණ්ඩායම් ඒකරාශී කරගෙන ජාතික ආර්ථික විප්ලවයක් ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව. මේ සඳහා සමුපකාර ව්‍යාපාරය යළි පණ ගැන්වීම අවශ්‍යයි, 70 සමුපකාර ක්‍රමය නෙවෙයි. ඉතාලියේ වයින් නිෂ්පාදනයන් 60%ක් කරමින් සමුපකාර ව්‍යාපාරයයි. ඉන්දියාවේ ලක්‍ෂ 35ක් වුණු කිරීගොවි ව්‍යාපාරය,ඇමරීකාවේ ධාන්‍ය නිෂ්පාදනය සමුපකාර ව්‍යාපාරයි. පුද්ගල ව්‍යවසාය වෙනුවට කණ්ඩායම් එක්කර සමාගම් බවට පත් කර ස්වශක්තිය ලබාදෙන ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි."
  -නිදර්ශනී වික්‍රමසිංහ-