2019 සැප්තැම්බර් 11 වන දින: ශ‍්‍රී ලංකාව පුරා අති දැවැන්ත ලෙස ක‍්‍රියාත්මක කළ ‘‘එයාර්ටෙල් ෆාස්ටස්ට්” ලෙසින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ අනාගත වේගපන්දු යවන්නන් සොයා යාමේ මෙහෙයුමේ අවසන් අදියර නිම කරමින් එයින් තෝරා ගත් හොඳම වේග පන්දු යවන්නන් 14 දෙනා මාධ්‍ය වෙත හඳුන්වාදීම පසුගියදා කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයේ  පැවති විශේෂ උත්සවයේදී සිදු කෙරිණි.
එයාර්ටෙල් ෆාස්ටස්ට් පිලිබඳ අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ජිනේෂ් හෙජ් මහතා ‘‘එයාර්ටෙල් ෆාස්ටස්ට් මෙහෙයුම ආරම්භ කරන විට අපට පැහැදිලි වූ එක් කාරණයක් වුයේ දක්ෂතා සහිත තරුණ වේග පන්දු යවන්නන් සහ ඔවුන්ගේ කුසලතා පෙන්නනුම් කිරීමට ඇති අවස්ථාවන් අතර හිදැසක් පවතින බවයි. පෙබරවාරි මාසයේ සිට ඇරඹි මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ අංකුර වේග පන්දු යවන්නන් දිනෙන් දින තම දක්ෂතා වර්ධනය කර ගනිමින් වේග පන්දු කරණයේ පන්නරයක් ලබා ගන්නා ආකාරය පිළිබඳව අපට විශාල පැහැදීමක් තිබුණා. ක‍්‍රමානූකූල පුහුණුවීම් සහ ඔවුන්ගේ කුසලතා පිළිබඳව ඔවුන් තුළ ආත්ම විශ්වාසයක් ඇති වීම සහ ඔවුන්ගේ ක‍්‍රිකට් වීරයන්ගෙන්ම වේගපන්දු කරණය පිළිබඳව හැදෑරීමට ඔවුන්වෙත අවස්ථාවක් ලබා දීමට

අපට හැකිවීම වඩාත්ම හෘදයාංගම කරුණක් ලෙස මට දැනෙනවා. අපි මෙම තරුණ ජවයෙන් බොහෝ විශිෂ්ට දේ බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ නම් හොඳින් මතක තබා ගන්න. එවගේම එයාර්ටෙල් ෆාස්ටස්ට් අවසානය දක්වා රැඳී සිටින්න” යැයි පැවසීය.
එයාර්ටෙල් ෆාස්ටස්ට් අවසන් වටයට තේරුණු 14 දෙනා කාණ්ඩ 03 ක් යටතේ වර්ගීකරණය කල අතර කාන්තා විවෘත අංශය යටතේ විශ්මි දෙව්මිණි, ශයනි සේනාරත්න, මල්ෂා මදුෂානි සහ මෙත්මා හෙට්ටිආරච්චි යන ක‍්‍රීඩිකාවනුත්, පිරිමි 19 න් පහළ කාණ්ඩය යටතේ ඒෂාන් මාලිංග මොහමඞ් ආකිල් ජනිත් මදුශංක සහ චරිත් තීක්ෂණ යන ක‍්‍රීඩකයනුත් පිරිමි 19 න් ඉහළ කාණ්ඩය යටතේ මොහමඞ් ෆාහිම් රසාංජන අරවිඳු චන්දුල සුදම්පති අරුන් ප‍්‍රකාශ් මලිඳු ෂෙහාන්  යන ක‍්‍රීඩකයනුත් තේරී පත්වී තිබේ.
ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 11 ක් ආවරණය කරමින් 2019 පෙබරවාරි මස ඇරඹුන‘‘එයාර්ටෙල් ෆාස්ටස්ට්” මෙහෙයුම සඳහා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු, අනූෂ සමරණායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වූ අතර මෙහිදී ජාතික සංචිතයට ඇතුළත් විය හැකි දක්ෂතා ඇති තරුණ තරුණියන් තෝරාගැනීම මෙහි ප‍්‍රධාන අරමුණ විය. මූලික අදියරේදී තරුණයින් සඳහා 19න් ඉහළ සහ 19පහළ වශයෙන් කාණ්ඩ දෙකක් මෙන්ම තරුණියන් සඳහා කාන්තා විවෘත යන කාණ්ඩ යටතේ 145ක් දෙනෙකු තෝරා ගන්නා ලදි.
මූලික තරඟ වටයේදී වේග පන්දු යවන්නන් 145 දෙනකු තෝරාගත් අතර දෙවන වටය සඳහා එයාර්ටෙල් සුපිරි තරු පුහුණු කණ්ඩායමේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ තවත් 45 දෙනකු තෝරා ගන්න ලදී. මෙම පුහුණුකරුවන්ගේ සංචිතයට ශ‍්‍රී ලංකා ජාතික හිටපු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු අනුෂ සමරනායක ,ශ‍්‍රී ලංකා ඔ 20 කණ්ඩායමේ නායක සහ ක‍්‍රිකට් වාර්තා සුනුවිසුනු කළ භයානකම යෝකර් පන්දු යවන්නා ලෙස නම් ලද ලසිත් මාලිංග මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ අද්විතීය නාමයන් සටහන් කළ චමින්ද වාස්, හෂාන් තිලකරත්න, සහ උපුල් චන්දන යන ක‍්‍රීඩකයන් ඇතුලත් විය.
ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු අනුෂ සමරනායක අදහස්

දක්වමින් ”සාර්ථක වේගපන්දු යවන්නකු සතුව හොඳ පුහුණුවක්, හොඳ ශාරීරික යෝග්‍යතාවයත්, තාක්ෂණයත් සහ හොඳ මානසිකත්වයක් තිබිය යුතුයි. මෙම තරුණ වේග පන්දු යවන්නන් සමග මුල සිටම වැඩ කිරීමේදී ඔවුන් සතු ඔප මට්ටම් නොවූ දක්ෂතා දැක ඇත්තටම මම පුදුම වුණා.අවසන් වටයට තේරීපත් වී සිටින මෙම 14 දෙනා අපගේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉහළම මට්ටමට පැමිණේ යැයි ම අපේක්ෂා කරනවා’’ යැයි පැවසීය.

දෙරණ මාධ්‍ය ජාලයේ සමූහ අලෙවි අධ්‍යක්‍ෂ තුෂාර පෙරේරා මහතා අදහස් දක්වමින් ‘‘ශ‍්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති ප‍්‍රධානතම නාළිකාවක් ලෙස දෙරණ අපි මෙවැනි දක්ෂතා ඇති තරුණ තරුණියන් අතර උද්දීපනයක් ඇති කරමින් ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වීමටත් හැකියාවන් වර්ධනය කිරීමටත් වේදිකාවක් තනා දීමට හැකිවීම පිලිබඳ සැබවින්ම ආඩම්බරයට පත් වෙනවා. එවගේම ඔවුන්ගේ ආර්ථික සමාජ පසුබිම කුමක් වුවත් තමන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමට උනන්දු සහ කැපවීම ඇති  ඕනෑම කෙනෙකුට ඉහලටම යා හැකි බව ඔවුන්ට අප ඒත්තු ගැන්විය යුතුයි. එයාර්ටෙල් ෆාස්ටස්ට් පාසල් ක‍්‍රිකට් වලින් ආරම්භ වුවත් එය මෙතනින් නිම නොවී තවත් පරිච්ෙඡ්ද රාශියක් දිග හැරෙනු ඇතයි අප බලාපොරොත්තු වනවා යැයි පැවසීය.
එයාර්ටෙල් ෆාස්ටස්ට් අවසන් තරඟය 2019 වසරේ සැප්තැම්බර් 27වන දින පැවැත්වෙන අතර අවසන් තරගය සඳහා තෝරා ගනු ලැබූ 14 දෙනා අතුරින් එක් එක් කාණ්ඩයෙන් පළමු ස්ථානය හිමිකර ගනු ලබන ශ‍්‍රී ලංකාවේ ආධුනික වේගවත්ම පන්දු යන්නන් 3 දෙනා මෙහිදී තෝරා ගැනීමට නියමිතය.