නවසීලන්තය සමඟින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක්
ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට
නවසීලන්තය සමත්වූ හෙයින් 2013 වසරෙන් පසු
නවසීලන්තය හමුවේ මෙරටදී විස්සයි-20 තරගාවලියක අමිහිරි පරාජයක් උරුම කරගැනීමට ශ්‍රී ලංකාවට
සිදුවිය.

ඇතැම් පන්දු යවන්නන්ගේ ‘දියාරු’ පන්දු යැවීම හා පන්දු රැකීම හමුවේ ලබාගැනීමට තිබූ ජයග්‍රහණයන්
දෙක අහිමි කරගැනීම තුළ 2020 ලෝක කුසලානයට යන ගමන් මාර්ගය තවමත් පැහැදිලි වී නැති බව
පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකා පිල ලැබූ මෙම අමිහිරි පරාජය සම්බන්ධයෙන් නිරෝෂන් දික්වැල්ලගේ අදහස වූයේ ලකුණු
කිහිපයක අඩුපාඩුවක් නිසා මෙම පරාජය සිදු වූ බවය. 
“මාලිංග මින් පෙර කියා ඇති ආකාරයට
විස්සයි-20 ලෝක කුසලානයටයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසයි අලුත් මුහුණුවලින් සමන්විත තරුණ
ක්‍රීඩකයන් අත්හදා බලාගෙන යන්නේ. මේ තරග දෙකේදීම අපි මුලින් බැට් කළත් ලකුණු 10-15ක් විතර
මදි වුණා. ඒත් අපේ පිතිකරුවන් හා පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළ නිසයි තරග දෙකම අවසන්
පන්දුවාරය දක්වා විහිදී ගියේ” යැයි දික්වැල්ලගේ අදහස විය.

අවස්ථා දෙකේදීම කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව
නවසීලන්තයට ලබා දුන්නා නම් එයින් යම් වාසියක් ශ්‍රී ලංකාවට හිමිවීමට ඉඩ තිබුණා නේදැයි විමසූ
අවස්ථාවේදී දික්වැල්ල පැවැසුවේ මෙවැන්නකි. “පළමු තරගයේදී ක්‍රීඩා කළේ නව තණතීරුවක. අද
(03දා) ක්‍රීඩා කළේ වෙනත් තණතීරුවක. ලංකාවේ තණතීරුවල වියළි බව වැඩියි. මේ නිසා අවසන්
භාගයේදී දඟ පන්දු යවන්නන්ට උචිත වේවි කියලා හිතුණ නිසයි මුලින් බැට් කරන්න තීරණය කළේ. නවක අය
ක්‍රීඩා කරන නිසා මුලින් බැට් කරන අවස්ථාවේදී පීඩනයක් නැහැ. මුලින් බැට් කරන්න ඒකත් හේතු වුණා”
යනුවෙනි.

කෙතරම් රාජකාරි පැවැතුණත් පළමු තරගය සඳහා 22,358ක් හා දෙවැනි තරගය සඳහා 17,000කට
ආසන්න ක්‍රීඩාලෝලීන් පිරිසක් පැමිණියද ඔවුන්ගේ බලාපොරොත්තු කඩවීම සම්බන්ධයෙන් යමක් කියන්න
තියෙනවාද යන්නට පිළිතුරු සැපයූ දික්වැල්ල “මෙතරම් ක්‍රීඩාලෝලීන් පිරිසක් පැමිණියාට ඇත්තටම මම
සතුටුවෙනවා.
ඒ අය අපිට සපෝට් කරන්න ආව එක ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ හිත්වලත්
තියෙන්නේ ඒ අයගේ බලාපොරොත්තුවම තමයි.  තරගයක් දිනන්න මිස පරදින්න බලාගෙන අපි එන්නේ නැහැ.
අපි අපේ උපරිමයෙන්ම තමයි කරන්නේ. ක්‍රීඩා කරන අපිට තමයි එතැන තත්ත්වය තේරෙන්නේ. ඒත් මිලියන
22ක් බලාගෙන ඉන්න නිසා අපි අපේ වගකීම හැකි ආකාරයෙන් කරන්න බැඳිලා ඉන්නවා. කොහොම වුණත්
තරග දෙකම පරාජය වීම ගැන මම ප්‍රේක්‍ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම අනාගතයේදී අපේ
අතින් සුළු වැරැද්දක්වත් වෙන්නෙ නැතිවෙයි කියලා මම හිතනවා”යැයිද කීය.

මේ අතර තරගයේ අත්‍යවශ්‍යව තිබූ උඩපන්දුවක් ලබාගැනීමට යෑමේදී සුළු අනතුරකට භාජන වූ ශෙහාන්
ජයසූරිය හා කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය කෙසේ දැයි විමසූ අවස්ථාවේදී දික්වැල්ල පැවැසුවේ ඔවුන්ගේ
ආබාධය පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුවන බවත් අද වනවිට එහි ප්‍රතිඵල දැනගත හැකි බවය.

කෙසේ වෙතත් උඩපන්දු අත්හැරීම වැනි වැරැදි අඩුකරගැනීම සඳහා ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක්
ගන්නේ දැයි විමසූ අවස්ථාවේදී දික්වැල්ලගේ අදහස වූයේ “මම හිතන්නේ කණ්ඩායමක් හැටියට මුලින් අපි
මානසිකව ශක්තිමත් වෙන්න ඕන. කොහොමත් රාත්‍රියේදී පන්දු රකිනවා කියන්නේ අමාරු කාර්යයක්.  නමුත්
ඒක නිදහසට කරුණක් නොවෙයි. අපි හොඳින් පුහුණු වුණත් මේ වගේ අවාසනාවන්ත දේවල් සිද්ධ වෙන්නේ ඇයි
කියලා මටත් හිතාගන්න අමාරුයි. ළහිරු මධුසංක කියන්නෙත්, දසුන් ශානක කියන්නෙත් ඉතාමත් හොඳ පන්දු
රකින්නන් දෙන්නෙක්.  මම හිතනවා ඉදිරියේදී මේ වගේ වැරැදි සිද්ධ නොවේවි කියලා” යනුවෙනි.

විචිත්‍ර වීරසිංහ