තිහාරීය මුස්ලිම් පල්ලියක ඊයේ (26දා) ඇති වූ ගින්නකින් එහි පිහිටි අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි.  ජුනයිඩ් මාවතේ පිහිටි මෙම මුස්ලිම් පල්ලියේ ඉහළ මාලය තුළ මෙම හදිසි ගින්න හටගෙන ඇති අතර ඒ සමගම එහි රැදී සිටි සිසුන් වහා ඉවත් වීම නිසා
ඔවුනට කිසිදු හිරිහැරයක් වී
නොමැති බවද උසස් පෙළ අධ්‍යාපනය හදාරන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසුන් 35 දෙනෙකු මෙහි නේවාසිකව ඉගෙනුම ලබන බවද පොලීසිය පවසයි.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන  ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර නේවාසිකාගාරයේ තට්ටු දෙකකින් යුත් ඇදන් ආදිය පවා ගින්නෙන් විනාශ වී ගොස් තිබිණි.එබැවින් සිදුව ඇති අලාභය ගණන් බලා නොමැති අතර රුපියල් ලක්ෂ ගණනක අලාභයක් වී ඇතැයි විශ්වාස කෙරේ.

මෙම ගින්නෙන් පහත මාලයට හානියක් වීමට පෙර ගින්න නිවා දැමීමට හැකි වී ඇත. ගොඩනැගිල්ලේ වහලද විනාශයට පත්ව තිබීණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද නැතහොත් වෙනත් හේතුවක්දැයි මෙතෙක් හෙළි වී නොමැත. ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් කැඳවා පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ මෙහෙයවීම මත නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරී පක්ෂණ පවත්වති.

-මිරීගම කාන්ති-