"ඉදිරී ජනාධීපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්වීම වළක්වාලීමට කුමන හෝ බොරු චෝදනා ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමට උත්සාහ කළොත් මේ රටේ තව ලක්‍ෂ ගණනක් බන්ධනාගාරගත වන්න සුදානම් නිසා බන්ධනාගර තව දහස් ගාණක් හදාපල්ලා කියලා
ආණ්ඩුවේ කුමන්ත්‍රණකරුවන්ට අභියෝග කරන බව" රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය. ඇඹිලිපිටියේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 “වත්මන් යූඇන්පී ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ රාජපක්‍ෂවරු සමුළ ඝාතන උත්සාහයක ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, ගෝෂ්ඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාප්පක්‍ෂ, ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියන රාජපක්ෂවරු සමුල ඝාතනය කිරීමට නින්දිත කැත උත්සාහයක නිරත වුණා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ස්නාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමත් සමග හිතුවටත් වඩා ජනතාව ඔහු වටා එක් වෙමින් සිටිනවා. මේක ආණ්ඩුවේ දිරවන්නේ නෑ. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් තුන් දෙනෙක් රජයේම ආයතනයදී එක්වෙලා සාකච්ඡා කරලා තියනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව බොරු සාක්‍ෂි හදල චෝදනා ගොනුකරලා නඩු දාන්න කියලා.

එහෙම කරලා ඔහු බන්ධනාගාරගත කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ඉරිදා මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා.  ප්‍රදීප් එක්නළිගොඩ, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් යන අයගේ ඝාතනයන් ගැන හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ඝාතනයකට ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ කරලා අත්අඩංගුවට ගැනිමේ හැකියාවක් තිබුණත් නැතත්, ඒ සඳහා සාක්කි හදලා හරි මොහු අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලනඥයන් තුන්දෙනා ඉල්ලීමක් කරලා තියෙනවා.

නීතිය අවනීතිය කරලා, කැලෑ නීතිය රජකරවන්න හැදුවොත් ජනතාව වීදි සටන්වලට අවතිර්ණවීම වළක්වාලිය නොහැකි දෙයක්. ගෝඨාභය කියන්නේ මේ රටේ සාමාන්‍ය දුක්විදින ජනතාවගේ, රටට ආදරය කරන දේශප්‍රේමී ජනතාවගේ හදවතේ ලැගුම් ගත්ත, ආශිර්වාදය හිමිකරගත්ත, නායකයා මිස බන්ධනාගාරගත කළ යුතු චුදිතයක්, වැරදිකාරයක් නොවන බව දේශපාලනය නොදත් ආණ්ඩුවේ අතදරුවන්ට පැහැදිලි කර දියයුතුයි" යැයි ද පවසා සිටියේය.

-ජේ.නානායක්කාර-