ඉන්දියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 13 දෙනකුගේ සංචිතයට බටහිර
ඉන්දීය කොදෙව් පිල පළමු වරට රකීම් කොන්වෝල් කැඳවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා පියවර ගෙන තිබිණි. තුන් ඉරියව් ක්‍රීඩක කෝවෝල් මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගතහොත් ලෝක ක්‍රිකට්
ඉතිහාසයේ වැඩිම බරකින් යුත් ජාත්‍යන්තර ක්‍රීඩකයා වශයෙන් ඔහු වාර්තා අතරට එක්වීම සුවිශේෂී සිදුවීමකි. 1993 වර්ෂයේ පෙබරවාරි පළමුවැනිදා උපන් 26 හැවිරිදි රකීම් රෂාවන් ශේන් කොන්වෝල් අඩි 6 යි අගල් 6ක උසකින් යුක්ත වන අතර, ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 140 වශයෙන් සටහන්

වෙයි.

දකුණින් පිත්ත හසුරුවමින් දකුණත් පිට දඟ පන්දු යවන ඔහු බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් පළමු පෙළ තරග 55කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 13ක් සමගින් මුළු ලකුණු2224ක් රැස්කරගැනීමට සමත් වී ඇත. තවද පන්දු යැවීමේදී තරග 55කදී කඩුලු 260ක් දවාගෙන ඇ ත්තේ තරගයකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 17ක් සහ කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 12ක් සටහන් කරමිනි.

2014 වර්ෂයේදී බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් වරම් දිනාගත් රකීම් කොන්වෝල්ගේ දක්ෂතාවන් පිළිබඳව එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබුණද ඔහුගේ ශරීර ප්‍රමාණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට්
ක්ෂේත්‍රයේ රකීම් කොන්වෝල්ගේ
සාර්ථකත්වය සම්බන්ධයෙන් වාද විවාද පැනනැගී තිබීමද කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.
කෙසේ වෙතත් රකීම් කොන්වෝල් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එරට ජාතික තේරීම් කමිටු

සභාපති කප්පනි බ්‍රවුන් පවසා ඇත්තේ මෙවැන්නකි.

"රකීම් කොන්වෝල් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කිරීම වෙනුවෙන් වසර කිහිපයක සිට අප විශේෂ වැඩපිළිවෙළක් යෙදුවා. ඒ අනුව කොන්වෝල් සෑම අංශයකින්ම කළමනාකරණය කිරීම් වෙනුවෙන් විශේෂඥයකු යෙදවීම කෙරෙහි මේ වන විට අපගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ඔහු අපගේ ටෙස්ට් කණ්ඩායමේ විශේෂයෙන් පිතිකරණ අංශය ශක්තිමත් කරමින් ඉතා වටිනා මෙහෙයක් සිදුකරනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙනි.