කුවේට රාජ්‍යයේ රැකියාවලට ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවෝ 60 දෙනෙක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඉකුත්දා (22) මෙරටට එවනු ලැබුහ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 230 දරණ
යානයෙන් උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණි මේ පිරිස එරට ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක සුරක්ෂා  නිවාසයේ රැදී සිටි 45 දෙනෙක්ද, කුවේටයේ අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව බාරයේ සිට නානාපති කාර්යාලයට බාර දෙනු ලැබූ 15 දෙනෙක් ද ඇතුළත් වූහ.‍

මේ පිරිස පොරොන්දු වූ පරිදි වැටුප් හා ආහාර නොලැබීම,  උදෑසන සිට රාත්‍රී වනතුරු වැඩ ගැනීම සහ පහරදිම් ආදී විවිධ කරදරවලට ලක්වූවෝ වෙති.මේ පිරිස අතර සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි නන්දාවතී මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

මම කුවේට්
ගිහිල්ලා අවුරුදු එක හමාරක් වෙනවා. එහේ ගෙවල් හයක වැඩ කළා. මට එක ගෙදරකින් ගහනකොට බනිනකොට මම එජන්සියට දන්වනවා. එතකොට මට වෙනත් ගෙදරකට දානවා. ඒ ගෙදර උදවිය මට දිපු පඩි සල්ලි උදුරා ගන්නවා. පස්සේ මට ගහන්න බනිත්න පටන් ගන්නවා. ඉතින් මම ඒජන්සියට කියපුවහම තවත් ගෙදරක වැඩට දානවා. ඒ අයත් මගේ පඩි සල්ලි උදුරාගෙන මට ගහ ගහ වැඩ ගන්නවා. පස්සේ මාව සෞදි ආරාබියේ ගෙදරකත් වැඩට දැම්මා.

ඒ අයත් මට දීලා තිබුණ පඩි සල්ලි උදුරාගෙන ගැහුවා. පස්සේ මට ආයෙත් කුවේට්වලට වැඩට දැම්මා. ඒ හැම ගෙදරකම කනව බොනවට බනිනවා. ගහනවා. දැන් මට අඳින්න ඇඳුමක්වත් නැහැ.මාතලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි චම්පිකා පණ්ඩිත මහත්මිය මෙසේ පැවසුවාය.

මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මම කුවේට් ගියේ 2017 සැප්තැමර් 9 වැනිදා. මාව අරන් ගියේ කුවෙට්වල ළමයින් බලන්න කියලයි. නමුත් මට එහෙදි බලන්න වුණේ සත්තු. ඒ ගෙදර කුකුලු, බැටලු ඇති කරනවා. මට හැමදාම කන්න දුන්නේ තක්කාලි හොදියි බතුයි. මම බැරිම තැන දවසක් ඒ ගෙදරින් පාන්දර 3.00ට විතර පැනලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියා.

මම ලංකාවේ
කාන්තාවන්ට කියන්නේ කුවෙට් ගිහින් දුක් විදින්න එපා. තමන්ගේ ළමයි එක්ක තියෙන විදිහට සම්බෝලයි  බතුයි හරි කාල ලංකාවේ ජීවත් වෙන්න කියලයි. කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් 160ක් පමණ ආපසු ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් රැදී සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.  නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඩී.එම්. සන්ධ්‍යා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.

මට ළමයි දෙදෙනෙක් ඉන්නවා. මාව කුවේට්වලට යැව්වේ ඒජන්සියකින්. මට ඒ ගෙදරදි ගැහුවා. මම මාස 5ක් ඒ ගෙදර ගුටි කකා වැඩ කළා. බැරිම තැන ඒජන්සියකට කතා කළා. ඒජන්සියෙන් කිව්වා අපි ඔයාව කුවේටවලට යැව්වේ නැ කියලා. පස්සේ මම කුවේට්වල තියෙන ඒජන්සියට කතා කළා. ඒ අයත් ගණන් ගත්තේ නැහැ. මගහැරියා. බැරිම තැන මම ඒ  ගෙදරින් පැනලා කුවේට්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියා.

මම කුරුණෑගල නිරෝෂා සුදර්ශනී. මගේ වයස අවුරුදු 23යි. මම කුවේට්වලට ගියේ 2017 ඔක්තෝබර් 23 වැනිදා. මාව අඳුනන  කෙනෙක් තමයි මා කුවේට්වලට යැව්වේ. කුවේට් සැලුන්  එකක වැඩට කියලයි යැව්වේ. ඒක බොරුවක්. එත් මාව දැම්මේ ගෙදරක වැඩට. ඒක තට්ටු තුනේ ගෙයක්. මට ලංකාවේදි කිව්වේ මාසෙකට කුවේට් ඩිනාර් 110ක් දෙනවා කියලා. ඒත් ඇත්තටම දුන්නේ කුවේට් ඩිනාර් 90යි.

උදේ 6.00ට නැගිටින්න ඕනෑ නිදාගන්න වෙලාවක් නැහැ. පාන්දර 3.00 හෝ  4.00 වෙනකම් වැඩ කරන්න ඕනෑ. ළමයිගේ වැඩ. ගෙදර අයට කෑම හදන්න ඕනෑ. කෙළවරක් නැති වැඩ. මට කෑම කන්නවත් වෙලාවක් නැහැ. බැරිම තැන මම ඒ ගෙදරින් පැනලා තානාපති කාර්යාලයට ගියා.  මා කියන්නේ මේ රටේ කාන්තාවන්ට කුවේට් නම් යන්න එපා. ලංකාවේ ජීවත් වෙන්න බැරිම නම් ස්වයං රැකියාවක් හෝ කරලා ජීවත් වෙන්නෙ කියලයි. කුවේට්ටයේ සිට එවා සිටි පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් ලබා දුන් බස් වියදම් ලබාගෙන තම ගම් බිම් බලා පිටත්ව ගියහ.

-තිළිණිද සිල්වා-