අනුරාධපුර පූජා භූමියේ සීලකුටිය ගොඩගේවත්ත විහාරස්ථානයේ වැඩවිසූ ශීලවන්ත හා ධ්‍යානයකට සමවැදී සිටින බවට විශ්වාස කරන අපවත්වී වදාළ ඉංගිරියේ විජිත
හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සඳහා ඉදිකළ චිතකය වහාම ගලවා දමන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන්වීම හේතුවෙන් උන්වහන්සේගේ දායකයෝ දැඩි ලෙස කලකිරීමකට පත්ව චිතකය ඊයේ (14දා) ගලවා දැමූහ.

අනුරාධපුර සීලකුටිය ගොඩගේවත විහාරස්ථානයේ වැඩවිසූ
උන්වහන්සේ බොහෝ පිරිසකගේ ගෞරවයට පත්ව සිටි අතර මුදල් අතින් ඇල්ලීම, අටපිරිකර රැස්කිරීම වැනි කටයුතුවලින් බැහැරව සිටි උන්වහන්සේ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අබියසට පැමිණ ඇසි පිය නොහෙළා දැඩි සූර්ය රශ්මිය හා ගිගුරුම් සහිත වැසි වැටෙන අවස්ථාවල පවා භාවනාවේ යෙදෙන අයුරු බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍රවිය.

පෙරේදා (13දා) හදිසියේ අපවත්වූ උන්වහන්සේගේ ආදාහන පූජ්‍ය උත්සවය පැවැත්වීම සඳහා අක්කර අට දකුණු වාසල ක්‍රීඩා පිටියේ චිතකය සැකසීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උන්වහන්සේගේ දායකයන් විසින් කළ ඉල්ලීමට අනුව වාචිකව අවසර දී තිබුණත් කිසියම් පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කර තිබූ බලපෑමක් නිසා ඉදිකර තිබූ චිතකය ගලවා වහාම ඉවත්කරන ලෙස දායකයන්ට දන්වා තිබිණි.

මෙම ක්‍රියාවත් සමඟ සංවේගයට පත්වූ ගිහි දායකයන් පිරිසක් මෙසේ පැවැසූහ. “උන්වහන්සේ යම් කිසි ධ්‍යනයක සමවැදී සිටි ඉතා සුපේෂ ල ශික්ෂාකාමි හිමිනමක්. කිසිම දිනයක මුදල් ඇල්ලුවේ නෑ.
අපවත්වී පැය විසිහතරක් ඇතුළත දේහය ආදාහනය කරන ලෙස අපවත්වීමට පෙර ඉල්ලා තිබුණා. අපි දකුණු වාසල ක්‍රීඩා පිටියේ චිතකය හදන්න අවසර ඉල්ලුවහම වාචිකවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දුන්නා. උන්වහන්සේගේ අවසන් කටයුතු සිදුකරන්න කියලා. අපි දන්නවා මේ අසමත් ජාති වැඩේ කරපු පිරිස.

ඊයේ (14දා) අලුයම වෙද්දි චිතකය හදලා ඉවර කරපු ගමන් පුරාවිද්‍යාව ඇවිල්ලා කියනවා හදපු චිතකය ගලවන කියලා. අපි බොහොම කනගාටුවෙන් චිතකය ගැලෙව්වා. මේ ස්ථානයේ රථගාල් ඉදිකරනවා. වන්දනා නඩ ඇවිල්ලා ගිනි පත්තු කරගෙන උයනවා. විවිධ දේවල් පිට්ටනියේ කරනවා. චිතකය හැදුවාම එක පාරටම පුරාවිද්‍යා බිමක් වුණා. එතකොට ථූපාරාමය ආසන්නයේ චිතක දල්වන්න පුළුවන්. ඒ ස්ථානය පුරාවිද්‍යාවට අයිති නැතිව ඇති.

අපි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති (වැඩ බලන) එම්.ඩබ්ලිව්. බුද්ධික ප්‍රේමදාස මහත්තයට මේ බව දැන්වූවා. එතුමා වහාම ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා. අනුරාධපුර නිසල නිම්නයේ ආදාහනය සිදුකරන්න අවශ්‍ය කටයුතු කරලා දුන්නා. එතුමන්ට පින්සිද්ධ වෙනවා. අපි අපහසුතාවට පත්වූ අවස්ථාවේ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේගේ ආදාහන චිතකය පැය කිහිපයක් ඇතුළත සාදා නිම කරන්න අපිට සහාය දුන්න ආරක්ෂක අංශ සාමාජික මහතුන්ට දීර්ඝායු පතනවා” යනුවෙන් ඔවුහු වැඩිදුරටත් පැවැසූහ. ඊයේ (14දා) සවස උන්වහන්සේගේ ආදාහන කටයුතු අනුරාධපුර නිසල නිම්නය (විජයපුර කනත්ත) පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබිණි.

-මහේෂ් විජේසුරිය-