චෝදනා ගණනාවක් එල්ලවී තිබෙන මාකඳුරේ මධුෂ් සමග මෙරට ප්‍රකට කලාකරුවන් තිදෙනෙකු වන අමල් පෙරේරා, රයන් වැන් රෝයන් සහ නදීමාල් පෙරේරාද ඩුබායි ‍පොලීසිය විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් තිදෙනා අතරින් රයන් වැන් රෝයන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ
පසුගිය අප්‍රේල් 05 වැනිදායි. එදින නැවතත් මෙරට ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රයන්ට යළිත් මසකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවුණා. මැයි 09 වැනි දින රුපියල් හාරදහසක දඩයකට යටත්ව නිදහස ලැබූ රයන්, මෙම ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳ තතු පුවත්පතකට මෙසේ හෙළි කරන්නේ පළමුවරටයි.


 ඔබ දැන් කොහේද ඉන්නේ?

පසුගිය කාලයේ මුහුණදුන් සිදුවීම්වලින් පස්සේ මට ඉන්න හිටින්නවත් තැනක් නැතිවුණා. මගේ දරු පවුලත් එක්ක මම දැන් අපේ ඥාතියකුගේ ගෙදරකයි ඉන්නේ.

 ඇයි පදිංචි වෙලා හිටපු ගෙදරින් ඔබට ඉවත් වෙන්න සිද්ධ වුණේ?

අපි හිටියේ කුලී ගෙදරකයි. ඩුබායිවලදී මම අත්අඩංගුවට පත්වුණා කියලා දැන ගත්තාට පස්සේ ගෙදර අයිති කෙනාගේ ඉල්ලලා තිබුණා. මගේ බිරිඳටයි, දරුවන් දෙදෙනාටයි යන්න තැනක් තිබුණේ නැහැ. මොකද, අපේ දෙමව්පියන්ටත් ඔවුන්ගේ ගෙවල්වලින් ඉවත් වෙන්න සිද්ධවෙලා තිබුණා. ඒ විතරක් ‍නෙවෙයි ඔවුන් පීඩනයට පත් කළ සිදුවීම් රැසකටම මම නැති අතරේ මගේ දරු පවුලට මුහුණ දෙන්න සිදුවෙලා තිබුණා.

 ඔබ ඔය කියන්නේ මොනවගේ සිදුවීම් ගැනද?

මගේ දුව රැකියාව කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. මා ගැන රටේ විවිධ ප්‍රචාර පැතිරෙද්දී ඇයව රැකියාවෙන් අයින් කළා. මගේ පුතා පාසල් යමින් හිටියේ. පුතාගේ ඉස්කෝ‍ලේ ළමයි මා ගැන කියලා පුතාට උසුළු විසුළු කිරීම නිසා පුතාගේ පාසල් ගමන නැවතුනා, මේ ඒ වගේ සිදුවීම්වලින් එකක් දෙකක් විතරයි.

 දැන් ඔබට සමාජයේ තිබෙන පිළිගැනීමත් එක්ක ඔබට නැවතත් කලා කටයුතු පටන් ගන්න හැකිවේවි කියලා හිතනවාද?

මට අලුත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. නමුත් ආයෙමත් කලා කටයුතු ආරම්භ කරන්න පුළුවන් මානසික මට්ටමක ‍නෙවෙයි මම තවම ඉන්නේ. මම වැරදි කරුවෙක්ද? නැද්ද? කියලා නීතිය ඉදිරියේ ඔප්පුවෙන්න කලින් සමාජය මාව වැරදිකරුවෙකු බවට පත් කරලා තිබුණා. එපාම කරපු චරිතයක් විදිහට ඇතැම් මාධ්‍යවලිනුත් මාව හංවඩු ගහලා තිබුණා. ඒ කම්පනයෙන් තවම මට මිදෙන්න අමාරුයි. මගේ මානසිකත්වය යහපත් අතට හැරුණාම මම අනිවාර්යයෙන්ම නැවතත් කලා කටයුතු පටන් ගන්නවා.

 මේ සිදුවීම්වලට මුල්වූ ඩුබායි සංචාරයට ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?

ඒ ආරාධනාව මට ලැබුණේ ඩුබායිවල ඉන්න මගේ මිත්‍රයකුගෙන්. මම ඊට සහභාගි වුණේ කලාකරුවෙක් විදිහටයි. ඒ වෙනුවෙන්  ඔවුන් මට ඩිරාම් 2500ක ගෙවීමක් කළා.

ඒක ඔබ සාමාන්‍යයෙන් ඩුබායි සංචාරයකට අය කරන මුදලද? නැතිනම් ඊට වැඩිද?

පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳන් මම ඩුබායිහි පැවති ප්‍රසංග විශාල ප්‍රමාණයකට සහභාගි වුණා. ඩිරාම් 2500ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ එකහමාරක් විතර ඇති. ඒ මුදල තමයි මම සාමාන්‍යයෙන් ඩුබායි ප්‍රසංගයකට අය කරන්නේ.

ඔබ යන්නේ පාතාල නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ්ගේ සාදයකටයි කියලා ලංකාවෙන් පිටත්වෙද්දී ඔබ දැනගෙන හිටියාද?

ඔව්. මම දැනගෙන හිටියා ඒක මධුෂ්ගේ සාදයක් කියලා.

 අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රටේම නමගිය අපරාධකරුවකුගේ සාදයකට සහභාගිවීම වරදක් කියලා ඔබට හිතුනේ නැද්ද?

මධුෂ් ඉන්නේ ඩුබායිවලයි කියන කාරණය මමයි, මා සමග ගිය අනිත් කලාකරුවන් දෙදෙනායි විතරක් දැනගෙන හිටපු රහසක් නොවෙයිනේ. ‍පොලීසිය, මාධ්‍ය ඇතුළු හුඟක් අය දැන හිටියා මධුෂ් කොයි රටේද ඉන්නේ කියලා.

 මධුෂ්ව මීට කලින් ඔබට මුණ ගැහිලා තිබුණද?

කලින් එක වතාවක් මට ඔහුව මුණගැහුණා. ඒ ප්‍රසංගයකදී.

 මුණගැහුණු අවස්ථාවලදී මොනවාද ඔහු ඔබත් එක්ක කතා කළේ?

කලාව රසවිඳින කෙනෙක් විදිහට, කලාව ගැන තොරතුරු තමයි ඔහු මා එක්ක කතා කළේ.

 ඔබව බොහෝදෙනා හඳුනන්නේ රංගන ශිල්පියෙක් විදිහටයි. මේ සංචාරයේදී ඔබේ භූමිකාව වුණේ මොකක්ද?

වෙනදා සහභාගි වෙන විදෙස් ප්‍රසංග වලදී වගේම ගායකයෙක් විදිහටයි මම ඊට සහභාගි වුණේ.

 ඩුබායි ‍පොලීසියෙන් ඔබ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොකද වුණේ?

අත්අඩංගුවට ගත්තාට පස්සේ අපිව එහේ සී.අයි.ඩී. ඔෆිස් එකට අරගෙන ගිහින් ප්‍රශ්න කළා. ඒ වගේම අපේ මුත්‍රා සාම්පලත් පරීක්ෂා කළා.

 එතන හිටපු සමහරු කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බව ඒපරීක්ෂණවලින් තහවුරු වුණා නේද?

හැමෝම බිලා හිටියේ මත්පැන්. මොකද කොක්ටේල් වර්ග සහ අරක්කු විතරයි ඒ සාදයේ තිබුණේ. ඒ නිසා වෙන කිසිම මත්ද්‍රව්‍යයක් එහි හිටපු අයගේ ශරීරවල තිබුණේ නැහැ.

 ඊට පස්සේ කොහේද ඔබ ඇතුළු කණ්ඩායම රඳවා තැබුවේ?

ඩුබායිවල “සෙන්ට්‍රල් ජේල්” කියන බන්ධනාගාරයේ. ඒක ලොකු බන්ධනාගාරයක්

 හැමෝම තනි තනි සිරමැදිරිවලද හිටියෙ?

දෙන්නා, තුන්දෙනා විදිහට අපිව කණ්ඩායම්වලට බෙදලා කුටිවලට දැම්මා. අපේ හතර දෙනෙක් හිටපු කුටියක තමයි මම හිටියේ.

 තමන් ගායකයන් කියලා තහවුරු කරන්න අමල් පෙරේරාට සහ නදීමාල් පෙරේරාට ඩුබායි ‍පොලීසිය ඉදිරියේ ගීත ගායනා කරලා පෙන්වන්න වුණා කියලා රාවයක් පැතිරුණා. ඔබටත් ඊට මුහුණ දෙන්න සිදු වුණාද?

ඒක බොරු කතාවක්. අපේ වෘත්තිය මොකක්ද කියලා පාස්‍පෝට්වල එහෙමත් සඳහන් වෙලා තිබුණ නිසා අපිට අමුතුවෙන් ඒක ඔප්පු කරන්න ඕනෑ වුණේ නැහැ.

 බන්ධනාගාරයේදී ඔබ ඇතුළු කණ්ඩායමට සැලකුවේ මොන විදිහටද?

ඒකේ විශේෂත්වයක් තිබුණේ නැහැ. ඒ රටේ සාමාන්‍යයෙන් සිරකරුවන්ට සලකන විදිහට අපට කෑම බිම දීලා රඳවාගෙන හිටියා.

 ඒ කාලය තුළදී කවුද ඔබව මුණ ගැහෙන්න බන්ධනාගාරයට ආවේ?

අපිව කාටවත් මුණ ගැහෙන්න හෝ කතා බහ කරන්න ලැබුණේ නැහැ. දවස් තුනක සංචාරයකටයි මම ඩුබායිවලට ගියේ. හීනෙකින්වත් නොහිතපු මේ සිදුවීමෙන් පස්සේ මට ගෙදරට පණිවුඩයක්වත් දීගන්න බැරුව ගියා. ඩුබායිවල තියෙන අපේ රටේ තානාපති කාර්යාලයෙනුත් සහයෝගයක් ලැබුණේ නැහැ. තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් අපිව මුණගැහිලා ඇහුවේ එක දෙයයි. ඒ තමයි අපි මහින්දවාදියොද? නැත්නම් රනිල්වාදියොද? කියන ප්‍රශ්නය.

 මේ සිදුවීම ගැන මැදිහත්වෙන්න ලංකාවෙන් පිටත්ව ගිය නීතිඥයන් ඔබට හිරගෙදරදි මුණ ගැහුණේ නැද්ද?

ඔය කියන කිසිම නීතිඥයෙක් මාව නම් මුණගැහුණෙත් නෑ. මට කතා කළෙත් නෑ.

 ඔබ වෙනුවෙන් පෙනී සිටින්න වෙනම නීතිඥයෙක් ඩුබායි වෙත පිටත්ව ගියේ නැද්ද?

එහෙම යවන්න තරම් මානසිකත්වයක් මගේ පවු‍ලේ අයට තිබුණේ නැහැ. ඉන්න හිටින්නවත් තැනක් නැතුවයි ඒ අය ඒ වෙනකොටත් හිටියේ. අපේ සමහර ඥාතීන් පවා අපිව ප්‍රතික්ෂේප කළා. ඔය අතරේ අත් දෙකේ ඇඟිලි දහයටත් අඩු ගණනක් වන, කලා ලෝකයේ මගේ හොඳම මිතුරන් කිහිප දෙනෙක් තමයි ඒ කා‍ලේදී මගේ පවු‍ලේ අයගේ දුක සැප සොයා බැලුවේ.

 ඩුබායි සිට පිටුවහල් කළාට පස්සේ ඔබ ලංකාවේදීත් අත්අඩංගුවට පත් වුණා නේද?

ඔව්. මාව රඳවාගෙන පැය 18ක් ප්‍රශ්න කළා. ඒ වෙද්දී වැලිගම ‍පොලීසියේ මට පැමිණිල්ලක් තිබුණා මම ගංජා ප්‍රවාහනය කළා කියලා. ඒ අනුව 54 (අ) වගන්තිය යටතේ මුලින් මට දඬුවම් කළා. පසුව ඒ යටතේ මට දඬුවම් කරන්න බැහැ කියලා තීරණය කරලා මම කරපු නියම වැරැද්ද අනුව මට දඬුවම් කළා. ලංකාවේ නීතිය ඒ වෙලාවේ මට සාධාරණය ඉටු කළා.

 ඔබ ඇත්තටම ගංජා ප්‍රවාහනය කළේ නැහැ කියලද කියන්නේ?

මෙහෙමයි... මගේ වාහනයේ ගංජා ටිකක් තිබුණා. මොකද මම ගංජා බොනවා. ළඟ තිබුණු ගංජා ප්‍රමාණය අනුව තමයි මට දඩ නියම කළේ. මම කරපු ඒ වැරැද්ද මම පිළිගන්නවා.

 මේ සිදුවීමෙන් පස්සේ ඔබට අමල් පෙරේරාව මුණ ගැහුණාද?

නැහැ. මට ඔහුව තවම මුණ ගැහුණේ නැහැ.

 ඔබ වැඩිපුරම ජනතාව අතරට ගියේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ‘ලයනල් සඳුන්’ කියන චරිතයෙන්. මේ සිදුවීම නිසා ඔබේ චරිතයත් ඒ ටෙලි නාට්‍යයෙන් ඉවත් කළා නේද?

දෙවැනි ඉනිමෙන් මාව අයින් කළේවත්, මම එයින් අයින් වුණේවත් නැහැ. මගේ චරිතයට ටෙලි නාට්‍යයේ එන්න පුළුවන් දුර අවසන්  වූ නිසා මේ සිද්ධියට කලින්ම මම එහි රඟපැම නිම කරලයි තිබුණේ.

 ඩුබායිහිදී අත්අඩංගුවට පත්වන අවස්ථාව වනතුරුම, ඔබ විවාහකයෙක් කියන කාරණය වසන් කරගෙන හිටියේ ඇයි?

කලාකරුවන්ට ‍පොඩි දේකටත් ගොසිප් හැදෙනවා. මගේ බිරිඳටයි දරුවන් දෙදෙනාටයි ඒවාට නොගෑවී පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ නිසයි මම එහෙම කළේ.

 මේ වෙච්ච සිදුවීම ගැන අවසාන වශයෙන් ඔබට මොනවාද කියන්න තියෙන්නේ?

මේ මාව වැරදිකාරයෙක් විදිහට සමාජයේ හංවඩු ගහලා තිබුණු නිසා මටත්, මගේ බිරිඳ සහ දරුවන්ටත් මරණ තර්ජන පවා එල්ල වුණා.

මම වැරදි වැඩ කරලා මුදල් හම්බ කළා නම් මම කුලී ගෙවල්වල ජීවත් වෙන්න ඕන නැහැනේ. හැබැයි මම යාළුවොත් එක්ක එකතු වෙලා අසරණ අයට පිහිට වූ අවස්ථා තිබුණා.

සමහරු ඒවාටත් මඩ ගහලා තිබුණා. මම අදටත් ප්‍රශ්න ගොඩකයි ජීවත්වෙන්නේ. අවසාන වශයෙන්, මේ සිදුවීමේදී මා එක්ක හිටපු මගේ රසික රසිකාවියන් සහ කලාකරුවන්ට මම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම කාට හරි මගෙන් වරදක් වුණානම් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.

කිෂාන් කනංකෙ (lakbima.lk)

ඡායාරූප - මංජුල පෙරේරා