ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනායතනය ලෙස සැලකෙන හුවාවි සමාගම පෙරේදා අනපේක්ෂිත ගැටලුවකට ලක්වූයේ සිය මෘදුකාංගවලින් ඇමරිකානු නිෂ්පාදන ඉවත් කළ යුතු බවට ඇමරිකානු රාජ්‍ය වාණිජ දෙපාර්තමේන්තුව ලබාදුන් තීරණය සමගයි.

මෙහිදී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යටතේ ඇති ගූගල් ප්ලේ ස්ටෝර්,ජීමේල් හා යූටියුබ් වැනි ප්‍රකට යෙදවුම් ඉවත්වීමට කටයුතු කළ අතර සමාගමේ
නිෂ්පාදන අලෙවියට වඩා බලපෑම්කාරී තර්ජනයක් එල්ල විය.මෙය ඇමරිකාව හා චීනය අතර වෙළෙඳාම සම්බන්ධ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස විදෙස් විචාරකයින් හඳුන්වාදී තිබුණි.
මේ අතර ඇමරිකානු ගූගල් සමාගම පාරිභෝගිකයින්ට සහනයක් සලසා මෙම තීරණය ක්‍රියාත්මකවීම ලබන අගොස්තු 29 තෙක් තල් තබා ඇත. ඒ අනුව ඒ දක්වා පෙර පරිදි ගූගල් නිෂ්පාදන පාවිච්චි කිරීමට අවසර ඇත.
මෙම ගැටලුව නිසා ඉදිරි හුවාවි නිෂ්පාදන වෙනත් විකල්පයකට යාමට කටයුතු කරන බවට වාර්තා පළව ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ හුවාවි නිෂ්පාදන ඔස්සේ ඇමරිකානු රහස් ලබාගැනීමට චීනය කටයුතු කර ඇති බවයි. මෙම ගැටලුව නිසා කැනඩාවේ වාසය කරමින් සිටියදී හුවාවි සමාගමේ මූල්‍ය ප්‍රධානි ලෙස කටයුතු කරන එම සමාගමේ හිමිකරුගේ දියණිය මෙන්ග් වන්සෝ පසුගියදා නිවාස අඩස්සියටද පත්ව තිබුණි.