මම කෘෂිකර්මාන්තයට අකැමැති යැයි චෝදනා කරනවා. නමුත් 6 වැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි.” බිංගිරිය යෝජිත අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ සමාරම්භක
උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වෙමින් පසුගියදා වතුවත්ත, දුම්මලසූරියහිදී පැවැසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා” බිංගිරිය අද එහි සංකේතයක් ලෙස හැඳින්විය හැකියි. 2015දී අප ආරම්භ කළ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස අද මෙම සැකසුම් කලාප ආරම්භ කිරීම සිදු කෙරෙනවා. ණය ගෙවීමට නොහැකි ආණ්ඩුවක් වෙනුවට රට ඉදිරියට ගෙන යන ආණ්ඩුවක් රට තුළ නිර්මාණය කිරීමට අපට හැකිවී තිබෙනවා.

අද ආරම්භ වන බිංගිරිය ආයෝජන කලාපය සමඟ අපේ රටේ වෙළෙඳ කලාප 15ක් තිබෙනවා. නමුත් අද වන විට වියට්නාමයේ ආයෝජන
කලාප 350ක් ඇති කර තිබෙනවා. අක්කර 225,000ක් යොදා ගනිමින් එම ආයෝජන කලාප ඇති කර තිබෙනවා.

මම කෘෂිකර්මාන්තයට අකැමැති යැයි ඇතැමුන් චෝදනා කරනවා. නමුත් 6 වැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි. එය ඩී.එස්. සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන මහත්වරුන් ආරම්භ කළා. අප ඉන් ප්‍රයෝජන ලබා ගත්තා.

අද අප ආරම්භ කරන මෙම වෙළෙඳ කලාපය අක්කර 1200කින් අදියර 3ක් යටතේ අවසන් කරන බව මම පවසනවා. ජලය, විදුලිය ආදී සියලුම පහසුකම් ලබා දෙනවා. දැනට ශ්‍රී  ලංකාවේ ඇති අනෙක් ඕනෑම ආයෝජන කලාපයකට වඩා මෙය ප්‍රමාණයෙන් විශාලයි. නමුත් මෙය ලංකාවේ විශාලතම ආයෝජන කලාපය නෙවෙයි. ත්‍රිකුණාමලයේ ඉදිකිරීමට නියමිත ආයෝජන කලාපය අක්කර 40,000ක් විශාලයි. ඒ වගේම අක්කර 5000ක ආයෝජන කලාපයක් හම්බන්තොටත්, අක්කර 10,000ක ආයෝජන කලාපයක් මොනරාගලත් ඉදි කරනවා. අක්කර 1000ට වැඩි ආයෝජන කලාපයක් කළුතර ආරම්භ කරනවා. මාවතගම අක්කර 100ක ආයෝජන කලාපයක් ඉදිකිරීමටත්, කුලියාපිටියේ අක්කර 600ක ආයෝජන කලාපයක් ඉදිකිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි.

මෙම ආයෝජන කලාප ඉදිකිරීමෙන් පසු ඒවාට අවශ්‍ය කර්මාන්ත රට තුළට ගෙන්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි. අනෙක් කිසිදු පාලකයකුට මේ රට වෙනුවෙන් සිදු කිරීමට නොහැකිවූ සංවර්ධනය අප සිදු කරමින් සිටිනවා. අප එම අභියෝගය භාර ගත්තා. නිවාස ඉදිකරමින්, වෙළෙඳ ආයතන ඉදිකරමින් අලුතින් ඉදිවන කර්මාන්ත කලාප තුළ නව ආදායම් මාර්ග ඇති කර ගැනීම ප්‍රදේශවාසීන් වන ඔබලාට භාරයි. මේ ප්‍රදේශයේ සිට නිකවැරටියටත් නව මාර්ගයක් ඉදිකරනවා. රටත් ජනතාවත් පොහොසත් කිරීමේ විශාල අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා.

මේ රටේ තරුණ තරුණියන්ට නව රැකියා ලබා දිය යුතුයි. නව ආදායම් මාර්ග ඇති කර දිය යුතුයි. අවශ්‍යතා සඳහා වියදම් කිරීමට තරුණ තරුණියන් අතේ මුදල් ගැවසිය යුතුයි. එසේ නොවුණහොත් ඔවුන් රටේ ආණ්ඩුවට බනින්නට පටන් ගන්නවා.
ඒ වෙනුවෙන් කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා සේම කර්මාන්තකරණය රට තුළ ඇති කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයද දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරමින් සිටියා. කෙසේ වුවත් වයඹ සංවර්ධනය අපි එතැනින් අවසන් කරන්නේ නැහැ.

අපි වසර 30ක යුද්ධය අවසන් කළා. නමුත් රටේ දියුණුවක් ඇති වුණේ නැහැ. යුද්ධයෙන් පසුව ගතවූ අවුරුදු 5 තුළ රටේ තිබුණු දියුණුවත් නැතිවී ගියා. රට මේ තත්ත්වයට අප ගෙන ආවේ ඉතා අමාරුවෙන්. ඒ වෙනුවෙන් විවිධ චෝදනාවලට ලක් වෙන්නටද සිදුවුණා. නමුත් අප ආරම්භ කළ වැඩපිළිවෙළේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

පසුගිය සිකුරාදා පාසල් ගොඩනැඟිලි 200ක් විවෘත කළා. එළඹෙන 17දා මාර්ග 200ක් පමණ ජනතා අයිතියට පත් කරනවා. අපි නිකම් බොරු ගසන ආණ්ඩුවක් නෙවෙයි. අපි වැඩ කරලා පෙන්වන ආණ්ඩුවක්. අපි නිශ්ශබ්දව රට වෙනුවෙන් සිදු කළේ කුමක්ද යන්න ඉදිරි මාස කිහිපයේදී රටට පෙන්වනවා.

අපි පාර්ලිමේන්තුව තුළ වාද විවාද කළත් සියල්ලන්ගේම එකමුතුවෙන් රට දියුණු කිරීමට අප කැමතියි. එම නිසා එක් කාලයක් අප ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වී රට පාලනය කළා. දැන් හැම පැත්තෙන්ම චෝදනා එල්ල වෙනවා. අපට තනි පක්ෂයක් ලෙසත් රට පාලනය කළ හැකියි. එක්සත් ජාතික පක්ෂය යටතේ මහවැලිය අවසන් කළා නම් ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ රටේ අගනුවර බවට පත් කළා නම් ගම්උදාව කළා නම් මේ අභියෝගයත් අපි භාරගන්නට සූදානම්. එම නිසා රටේ ජනතාවට මා පවසන්නේ අපත් සමඟ ඒ වෙනුවෙන් එකතු වන ලෙසයි.

දේශපාලනය යනු රටට ප්‍රතිඵල පෙන්වීමයි. රටට අනාගතයක් නිර්මාණය කිරීමයි. එසේ නොවුණහොත් අපි රටක් ලෙස විනාශ වෙනවා. සෑමදාම අපි දුප්පත් රටක් ලෙස සිටීමෙන් ඵලක් නැහැ. අපි උදාහරණයට ගන්නේ වියට්නාමයද? අපේ විරුද්ධවාදීන් කටයුතු කරන්නේද?

රටේ තිබිය යුත්තේ අඳින ඇඳුමෙන් හෝ මුහුණෙන් කරන දේශපාලනයක් නොවේ. බොරු සටන් පාඨ කියන දේශපාලකයන් ලංකාවේ ඉතිහාසයවත් දන්නේ නැහැ. මේ දේශප්‍රේමීන් තනිය වල්ලභ කුමාරයා දන්නේ නැහැ. ඔවුන්ගේ සහෝදර සකලකලා වල්ලභ කුමාරයාව දන්නේ නැහැ. රටේ ඉතිහාසය දැනුමේ සහ හිතේ තිබිය යුතුයි. බොරු ප්‍රකාශ කරමින් වේදිකා උඩ දේශප්‍රේමීන් වීමෙන් පලක් නැහැ. එය මහා විහිළුවක්.