කැනඩාවේ ප්‍රධාන කතෝලික දේවස්ථානයක පූජාව අතර පියතුමාට පිහි පහරක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් වාර්තා සඳහන් කරයි,
කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර පැරණිතම හා  ප්‍රධාන දේවස්ථානය හැටියට සැලකෙන ශාන්ත ජෝෂප්
දේවස්තානයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ සිකුරාදා (22) දේව මෙහෙය අතරතුරයි. මෙම දේව මෙහෙය සජීවී ලෙස විකාශය වූවක් වන අතර මේ නිසා අදාළ පිහි ඇණුම් සිද්ධිය බොහෝ පිරිසකට කම්පනය ඇති කරමින් දර්ශනය වී ඇත.
දේව මෙහෙය අතරතුර එක්වරම ඉදිරියට එන
සාහසික පුද්ගලයා පියතුමන් වෙත යොමුව ලුහුබඳින අතර පියතුමන් ඔහුගෙන් ගැලවීමට පසෙකට දිවයද්දී ඔහු වරක් පිහියෙන් අනී.
කෙසේ වෙතත් එයින් පසුව එම පුද්ගලයාව අල්ලාගෙන පොලිසියට භාර දෙන්නට රැස්ව සිටි පිරිස කටයුතු කර තිබේ.
ප්‍රහාරය නිසා Rev. Claude Grou නමැති 77 හැවිරිදි පියතුමන් සුළු තුවාල ඇතිවූ අතර රෝහල් ගත කළ හෙතෙම සුවය ලබමින් පසුවේ.
ප්‍රහාරය සිදු කර ඇත්තේ Vlad Cristian Eremia නමැති 26 හැවිරිදි තරුණයෙකි. ඔහු කවර කරුණක් නිසා මෙම කටයුත්ත කරාදැයි තවම අනාවරණය වී නැත. එම තරුණයා මින් ඉහත 2017 වසරේ අපරාධයක් සම්බන්ධ අත්අඩංගුවට පත්ව පසුව නිදහස්වූ රැකියා විරහිත තරුණයෙකු බව වාර්තාවේ.
ඔහුව සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.