රාගම පොලිස් වසමේ ගණේමුල්ල, මැද්දෙගොඩ ප්‍රදේශයේ නිවෙසක් තුළ සිය සැමියා විසින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී සිය බිරිය වූ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක පෙරේදා (23දා) පස්වරුවේ ඝාතනය කර තිබේ. දෙදරු මවක් වන ඇය ඝාතනය කළ සැමියා රාගම පොලිසියට භාර වී ඇතැයිද පොලිසිය පවසයි.

23 වැනිදා සවස 4.30ට පමණ රාගම පොලිසිය වෙත පැමිණි පුද්ගලයකු තමන් සිය බිරිය ඝාතනය කර නිවෙසේ දමා ආ බවත් පොලිසියට භාර වීමට පැමිණි බවත් පවසා ඇත. ලද තොරතුරුවලට අනුව සැකකරුගේ නිවෙස පිහිටි ගණේමුල්ල මැද්දෙගොඩ නිවෙස වෙත ගිය රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරීක්‍ෂක ටී.කේ. හෙට්ටිආරච්චි මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කැලුම් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්ට දෙදරු මවක් වූ ලේල්වල ගමගේ චන්ද්‍රිකා දමයන්ති නමැති 35 හැවිරිදි කාන්තාව ලේ ගලන තුවාල සහිතව නිවෙසේ වැටී සිටියදී හමුවී ඇත.

ගිලන් රථයක් ගෙන්වා තුවාලකාරිය රාගම රෝහලට පිටත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බව වෛද්‍යවරයා සිරුර පරීක්‍ෂා කිරීමෙන් පසුව පවසා ඇත. පොලිසියට භාර වූ 35 හැවිරිදි සැකකරු මියගිය කාන්තාවගේ විවාහක පුරුෂයා වන බවත් කාන්තාව කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ලෙස සේවය කර ඇති බවත් ඇය සිය සැමියාට රහසින් පවත්වා ගෙන ගිය අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීම දුර දිග යෑමෙන් සැමියා උල් ආයුධයකින් ඇන බිරිය ඝාතනය කර පොලිසියට භාර වී ඇති බව පැවැසේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මීගමුව අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කරුණාදාස ගමගේ මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්වීම පිණිස දේහය රාගම රෝහල් මෘත ශරීරාගාරයට භාරදීමට නියෝග කර ඇත. සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් පසු සැකකරු ඊයේ (24දා) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-කැලණිය කුසුම් එස්. හැන්නදි-