ඊයේ (09දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ කීවේය.

නව අමාත්‍යවරයා ලෙස පත්වූ පසුව එක් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට පමණයි මට හැකියාව ලැබුණෙ.
ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වා ලබන වසර තුළ ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා 4ක් ගෙන ඒමට කටයුතු කළත් අභියාචනාධිකරණය ඇමැතිවරුන්ගේ කටයුතු අත්හිටුවීම නිසා ඒවා කිරීමට නොහැකි වී තිබෙනවා. එවැනි තත්ත්වයක් සෙසු අමාත්‍යාංශවලටත් ඇති බව මම සිතනවා. විශේෂයෙන් මුදල් ඇමැති ලෙස අගමැතිතුමා විශේෂ සහන රැසක් දුන්නා. ඊට පසුව ලබාදීමට අපේක්ෂා කළ කිසිදෙයක් ලබාදීමට පවා නොහැකි වී තිබෙනවා.


රට ආර්ථික, සමාජ, දේශපාලන ආදී වශයෙන් විවිධ අර්බුදයන්ට නතුවෙලා. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටට අහිතකර නිසා ඒක තාවකාලිකව හෝ නතර කර ගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනත් සම්මත කිරීමට පියවර ගනිමින් තිබුණා. රටවල් දෙකක ගිවිසුමක් නිසා ආවට ගියාට ඒක නතර කරන්න බැහැ. එම කැබිනට් පත්‍රිකාව සම්මත කරගන්නටත් හැකි වෙලා නැහැ.

ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේත් ආණ්ඩුවලට, අගමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා සම්මත වෙලා තියෙනවා. ඒත් නොවැම්බර් 14 වැනිදා වගේ විශ්වාසභංග ගෙනැත් විනාඩි ගණනකික් යෝජනා සම්මත කරගෙන නැහැ. මේ පූර්වාදර්ශය දිගටම ගෙන ගියොත් විනාඩි පහෙන් පහට අගමැතිවරු, කැබිනට් මණ්ඩලය වෙනස් කරාවි.

ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරලා නැහැ. ඒත් අදෘශ්‍යමාන හස්තයන්ගෙන් ක්‍රියාත්මක වන විකෘති පාර්ලිමේන්තුවකට සම්බන්ධ වෙන්න අපට බැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 පරිච්ඡේදය අනුව මේ දෙසැම්බර් 31දා දක්වා ආණ්ඩුව පවත්වාගෙන යන්නට මුදල් තිබෙනවා. ඒත් ඉන් පසුව රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට

වැටුප් ගෙවන්න, සමෘද්ධි සහනාධාර දෙන්න නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා රුපියල් බිලියන 1,735ක අතුරු සම්මත ගිණුමකට කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබෙනවා. ජනතාව පීඩාවට පත් කරන්න ඕන පිරිස්වලට පමණයි ඊට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළ හැකි වෙන්නෙ. මේ රටේ ජනතාවට ආදරේ නම් එය සම්මත කර ගත යුතුයි.

එසේ නැත්තම් මැතිවරණය ප්‍රකාශයට පත්වීම සාධාරණ බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළොත් මහ මැතිවරණය අවසන් වී මාස 3ක් දක්වා මුදල් වියදම් කිරීමට ව්‍යවස්ථාවේ 150 (3) අනුව ජනාධිපතිට බලය තිබෙනවා.
නව ආණ්ඩුව පිහිටුවන්න තීරණය කළේ 113 ගැන හිතලා නෙවෙයි. රට ගැන හිතලයි. නොවැම්බර් 07දා ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානමක් තිබුණා. ඒක සම්මත කළා නම්, තවත් වෙළෙඳ ගිවිසුම් ගැහුවා නම්, රාජ්‍ය දේපළ විකුණුවා නම් රටක් ඉතිරි වෙන්නේ නැහැ.


දෙනගම ධම්මික රණවීර