ආණ්ඩුවක් පිහිටුවන්නට ඉක්මන් වුණේ ඇයි දැයි ප්‍රශ්න කරන අයට මට කියන්න තිබෙන්නෙ තවත් ඉවසුවා නම් ලංකාව තුළ ලංකාවට ඉතුරු වන දෙයක් නැහැ කියලා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. හෙතෙම එසේ සඳහන් කළේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය බන්දුල
ගුණවර්ධන මහතා විසින් රචිත 'ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තෙවරසක ප්‍රගතිය සහ අගතිය' කෘතිය ජනගත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්ය.
    
කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව
ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පසුගියදා එම කෘතිය ජනගත කරන ලදී.  එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවැසීය. පසුගිය 2014 දක්වා අපි මේ රටේ  ආර්ථිකය වෙනුවෙන් කළ කාර්යය පිළිබඳ රටට අවබෝධයක් තිබුණද කියලා වගේම අපි ඒ ගැන නිසි ප්‍රචාරයක් ලබා දුන්නද කියන කාරණය පසුගිය කාලයේ අපි කල්පනා කළ දෙයක්. බන්දුල ගුණර්ධන මහතා ඒ වෙනුවෙන් පොත් පත් රචනා කළා.  අපි ආණ්ඩුව පෙරළනවා කියනකොට සමහරු පෝය ගණන ඇහුවා. ඒත් ඔන්න අපි අද ඒක පෝය එකකින් දෙකකින් කරල තියෙනවා. සමහරු ප්‍රශ්න කරනවා තවත් මාස හත අටකින් පහසුවෙන් ආණ්ඩුවක් ලබා ගන්න පුළුවන්කම තියාගෙන ආණ්ඩුව ගත්තේ ඇයිද කියලා.

තානාපතිවරුන් එහෙම අහනවා. ඒත් ඉවසුවා නම් මොකද වෙන්නේ. ලංකාවට ඉතිරි වෙන මොනවත් නැති වෙනවා. හැම දෙයක්ම විකුණන ලැයිස්තු ගත කොට තිබුණ, 2019 වෙන කොට රටට මොකුත් ඉතිරී වෙන්නෙ නැහැ. ළමයිගේ අනාගත ලෝකය උදුරා ගනිමිනුයි තිබුණේ. අපි ගත් ක්‍රියාමාර්ගයෙ ජනතාවගෙන් ඇසීම හොඳ බව තමයි මම සිතනෙ.  ඒක තහවුරු කරගන්න ඕන බව මගේ විශ්වාසයි.  ඉදිරියට ගෙන යන්නෙ අපි ජනතා වරම ලබා ගත යුතුයි.