තම ස්‌වාමි දියණිය මිය ගිය ස්‌ථානයේ දින 80 ක්‌ රැඳී සිටි සුනඛයකු පිළිබඳ චීන සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.


 මෙම සුනඛයා ඉතා කාර්ය බහුල මාර්ගයක්‌ මධ්‍යයේ රැඳී සිටිනු දක්‌නට ලැබ තිබේ.


එක්තරා බ්ලොග් අඩවියක් හරහා මෙම සුනඛයාගේ වීඩියෝව මිලියන දෙකකට ආසන්න පිරිසක්‌ නරඹා තිබිණි.

 අගෝස්‌තු 21 වැනිදා සිය ස්‌වාමි දියණිය මියගිය දින සිට සෑම දිනකම මෙම සුනඛයා මාර්ගයේ එක්‌ ස්‌ථානයක රැඳී සිටිනු දක්‌නට ලැබිණි.

 මිනිසුන් උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ විට සුනඛයා පළා යන බව කුලී රථ රියෑදුරෝ පවසති.

 "රියෑදුරන් මෙම සුනඛයාට නිතර පොඩි කෑම වර්ග දෙනවා. නමුත් අපි වාහනයෙන් එළියට බැස්‌ස ගමන් එයා ඉවතට දුවනවා," යෑයි එක්‌ රියදුරකු පැවසීය.

 "මේ සුනඛයා සහ හිමිකාරිය අතර තිබුණේ ඉතා ගැඹුරු බැඳීමක්‌. ඇය මැරුණාට පසු මේ කුඩා සුනඛයා එම ස්‌ථානයේ ආරක්‌ෂකයෙක්‌ විදියට ඉන්න පටන් ගත්තා."

 "සෑම දිනකම එම පාරෙන් යන මම එයාව දකිනවා. සුනඛයන් සහ මිනිසුන් අතර තිබෙන බැඳීම සත්‍යයක්‌."

 නොවැම්බර් 10 වැනිදා පටිගත කර ඇති මෙම වීඩියෝව ගැන චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ අදහස්‌ දක්‌වා ඇත. සුනඛයාගේ "විශ්වාසවන්ත භාවය" ගැන එම අදහස්‌ අතර විශේෂයෙන් සඳහන් වී තිබිණි.


 "මේ කුඩා බලු පැටවා බොහොම විශ්වසනීයයි. මගේ පවුලට අයත් සුනඛයෙක්‌ සිටියා. ඔහු මම පැමිණෙන තෙක්‌ සෑම දිනකම ගමේ පාසල ළඟ සිටිනවා," එක්‌ පුද්ගලයකු සඳහන් කර තිබිණි.

 තවත් පුද්ගලයකු සුනඛයාගේ ශුභසාධනය ගැන අවධානය මතු කර තිබේ.

 "මේ සුනඛයා මාර්ගයක්‌ මැද මේ විදිහට රැඳී සිටීම ඉතා භයානකයි. කව්රු හෝ හොඳ පුද්ගලයන් පිරිසකට මේ සුනඛයා හදා වඩා ගෙන ආරක්‌ෂිත ස්‌ථානයකට රැගෙන යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා." ඔහු පවසයි.

 සිය හිමිකරු හෝ හිමිකාරිය පැමිණෙන තුරු සිටි සුනඛයකු චීන සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ ප්‍රසිද්ධ වූ ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ.

 මෙම වසර මුල  සුනඛයකු දිනපතා සිය ස්‌වාමියා රැකියාවට ගොස්‌ පැමිණෙන තෙක්‌ ඉතා ඉවසීමෙන් යුතුව දුම්රිය ස්‌ථානයේ රැඳී සිටින ආකාරය දැක්‌වෙන වීඩියෝවක්‌ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.

 1920 වර්ෂයේ "ජපානයේ  සුනඛයෙක් ද සිය ස්‌වාමියා පැමිණෙන තෙක්‌ දිනපතා දුම්රිය ස්‌ථානයේ රැඳී සිටීම නිසා මහත් ප්‍රසිද්ධියට පත් වුණි. ස්‌වාමියා මියගොස්‌ වසර නවයක්‌ ගෙවෙන තුරු ද ඔහු එම ස්‌ථානයට දිනපතා පැමිණ තිබුණි.